(මෝඝරාජ)
ශාක්‍ය මුනිඳාණන් ගෙන් – දෙවරක් විමසා සිටියෙමි
ධම්ම චක්ඛු ඇති මුනිඳුන් – මා හට නොම වදාළෝ ය
දෙව් ඉසිවරයාණන් ගෙන් – තුන්වර තෙක් විමසන විට
එකරුණ පහදා දෙන බව – අසන්ට ලැබුණේ මා හට
මේ ලෝකේ සිටින අයද – පරලොව සිටිනා අය හෝ
දෙව්ලොව දෙවියන් ඇතුළුව – බඹලොව සිටිනා බඹුන්ද
යසසින් යුතු ගෞතම නම් – පින්වත් සමිඳාණන් ගේ
දෘෂ්ටිය ගැන පැහැදිලි ලෙස – ඒ උදවිය නොදනිත්මය
සුන්දර දැකුමෙන් යුතු වූ – භගවත් සමිඳාණන් වෙත
මමත් පැමිණියෙමි අද මෙහි – විමසාලන්නට පැනයක්
“කොයි අයුරින් ලෝකය දෙස – දකිමින් සිටිනා කෙනාද
මාරයාට නොපෙනෙන්නේ?”
(භාග්‍යවතුන් වහන්සේ)
පින්වත් වූ මෝඝරාජ – හැම විට සිහි නුවණින් ඔබ
උදුරා දමමින් මුලින්ම – පවතින සක්කාය දිට්ඨි
“මම, මාගේ, ආත්ම” යන – දෙයින් හිස්ව පවතින මෙය
ඒ ලෙසින්ම බලනා විට – මරු ඉක්මවමින් යන්නේ
ලොව මෙලෙසින් බලන කෙනා – මාරයාට නොපෙනෙන්නේ
මෝඝරාජ නිසා වදාළ දෙසුම මෙහි පසළොස් වැන්න වේ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_5-15/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M