ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

6. ජරා සුත්තං

6. ජරාවට පත්වීම ගැන වදාළ දෙසුම

808. අප්පං වත ජීවිතං ඉදං
ඕරං වස්සසතාපි මීයති
යෝ චේපි අතිච්ච ජීවති
අථ ඛෝ සෝ ජරසාපි මීයති

සැබැවින්ම මේ දිවිය ටික කලයි තිබෙන්නේ
වසර සියයකට පෙර බොහෝඅය මැරෙන්නේ
යන්තමින් ඊට වැඩි කලක් නම්ගෙ වන්නේ
ජරාවෙන් දුකට පත් වෙලා ඔහු මැරෙන්නේ

809. සෝචන්ති ජනා මමායිතේ
න හි සන්තා නිච්චා පරිග්ගහා
විනාභාවං සන්තමේවිදං
ඉති දිස්වා නාගාරමාවසේ

මම, මගේ යයි සිතා ගෙන සෝකකරත්මය
අල්ල ගත් සියලු දෙය සනාතන නොවෙත්මය
වෙනස් වන ලෝ දහම හැම තැනම තිබෙත්මය
දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවෙත්මය

810. මරණේන’පි තං පහීයති
යං පුරිසෝ මමිදන්ති මඤ්ඤති
ඒතං දිස්වාන පණ්ඩිතෝ
න මමත්තාය නමේථ මාමකෝ

සිතා සිටියද කෙනෙක් මම මගේ යයි කියා
මරණයෙදි ඒ කෙනා එයම දාලා ගියා
නැණවතුන් මේ කරුණ හොඳින් සිත තුළ තියා
කිසි දිනක නොම ඇලෙයි මමය මාගේ කියා

811. සුපිනේන යථාපි සංගතං
පටිබුද්ධෝ පුරිසෝ න පස්සති
ඒවම්පි පියායිතං ජනං
පේතං කාලකතං න පස්සති

සිහිනෙකින් එක්වෙලා සොම්නසින් සිටිද්දී
බොඳ වෙලා යයි සැණින් අවදි වී බලද්දී
මේ ලෙසින් තමා ප්‍රිය කළ අයද මැරෙද්දී
නොම ලැබේ යළි දකින්නට කොතෙක් හඬද්දී

812. දිට්ඨාපි සුතාපි තේ ජනා
යේසං නාමමිදං පවුච්චති
නාමමේවාවසිස්සති
අක්ඛෙය්‍යං පේතස්ස ජන්තුනෝ

ඔවුන් ගැන අසා දැක ඇති යමක් තිබුණ විට
මරණයෙදි හැර දමා යයි එ නම ඉතිරි කොට
කතා බස් කරන විට අතීතය මෙනෙහි කොට
නම පමණි කියන්නට තිබෙන්නේ එම කලට

813. සෝකපරිදේව මච්ඡරං
න ජහන්ති ගිද්ධා මමායිතේ
තස්මා මුනයෝ පරිග්ගහං
හිත්වා අචරිංසු ඛේමදස්සිනෝ

මම, මගේ යයි කියා ගිජු වෙලා වසන්නේ
සෝක, වැළපුම්, මසුරුකම් බැහැර නොයන්නේ
එනිසාය මුනිවරුන් හැම බැඳුම් නසන්නේ
බියක් නැති නිවන් දැක තුටින් කල් ගෙවන්නේ

814. පතිලීනවරස්ස භික්ඛුනෝ
භජමානස්ස විවිත්තමාසනං
සාමග්ගියමාහු තස්ස තං
යෝ අත්තානං භවනේ න දස්සයේ

හුදෙකලාවේ උතුම් දිවි ගෙවන සමණ හට
විවේකය තිබෙන ගිරි ගුහාවල සිටින විට
තමා තුළ කිසි දුකක් නොමැති බව දකින විට
එක්වෙලා වසයි හේ දහම සමඟින් එවිට

815. සබ්බත්ථ මුනී අනිස්සිතෝ
න පියං කුබ්බති නෝපි අප්පියං
තස්මිං පරිදේව මච්ඡරං
පණ්ණේ වාරි යථා න ලිප්පති

ලොවේ කිසිවක් කෙරෙහි තණ්හාව ඇති නොවන
මුනිඳු හට නැත කිසිත් කැමති අකමැති කරුණ
වැළපීම මසුරුකම ඔහු කෙරෙහි නොම ගැලෙන
දිය බිඳකි නෙළුම් කොළයේ නොරැඳ බිම වැටෙන

816. උදබින්දු යථාපි පොක්ඛරේ
පදුමේ වාරි යථා න ලිප්පති
ඒවං මුනි නෝ පලිප්පති
යදිදං දිට්ඨසුතං මුතේසු වා

නෙළුම් කොළයෙන් වැටෙන දිය බිඳක් විලසටම
පියුම් මත නොරැඳෙනා පැන් බිඳක් විලසටම
ඇසූ දුටු හා සුවඳ රස පහස සැවොමටම
නොම ඇලෙයි මුනිතුමා පැන් බිඳක් විලසටම

817. ධෝනෝ න හි තේන මඤ්ඤති
යදිදං දිට්ඨසුතං මුතේසු වා
නාඤ්ඤේන විසුද්ධිමිච්ඡති
න හි සෝ රජ්ජති නෝ විරජ්ජතීති

තමා දකිනා අසන සුවඳ රස පහස ගැන
රහත් මුනිතුමා හට සිතක් නැත එහි රැඳෙන
නොම සිතයි සැනසුමක් ලබන්නට නොමගකින
නොම ඇලෙයි රාගයට හෝ විරාගෙට හැදෙන

ජරා සුත්තං නිට්ඨිතං.

ජරාවට පත්වීම ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M