ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

3. දුට්ඨට්ඨක සුත්තං

3. දුෂ්ඨකම මුල්කොට ගාථා අටකින් වදාළ දෙසුම

784. වදන්ති වේ දුට්ඨමනාපි ඒකේ
අථෝපි වේ සච්චමනා වදන්ති
වාදඤ්ච ජාතං මුනිනෝ උපේති
තස්මා මුනි නත්ථි ඛීලෝ කුහිඤ්චි

දුෂ්ඨ සිතින් ඉන්න කෙනා – අනුන්ට දොස් දෙයි නොමනා
එය ඇත්තක් ලෙස සිතනා – අයත් නගති දොස් නොමනා
ඔය අභූත වාද තුළට – මුනිවරු නැත පැටලෙන්නේ
රාගාදී කෙලෙස් යවුල් – මුනිවරු හා නොමැත හවුල්

785. සකං හි දිට්ඨිං කථමච්චයෙය්‍ය
ඡන්දානුනීතෝ රුචියා නිවිට්ඨෝ
සයංසමත්තානි පකුබ්බමානෝ
යථා හි ජානෙය්‍ය තථා වදෙය්‍ය

තමා ගිලපු මතයෙ ඉඳන් – කොහොමද ඉක්මී යන්නේ
තමන් කැමති ලෙස රුචි කොට – බැසගත් විට ඒ මතයට
තම තමන්ගෙ දැනුම අනුව – ඒ ඒ මත පටලවගෙන
යාන්තමින් දන්න දෙයකි – බොහො විට දොඩමින් ඉන්නේ

786. යෝ අත්තනෝ සීලවතානි ජන්තු
අනානුපුට්ඨෝ ච පරේස පාවා,
අනරියධම්මං කුසලා තමාහු
යෝ ආතුමානං සයමේව පාවා

කවුරුත් නොම විමසද්දී – තමා රකින සිල් ගුණ දම්
කියා පායි නම් අනුන්ට – තමා සිල්වතෙක් විලසින්
තමන්ගෙ සිල් ලොවට කීම – හීන දෙයක් බව මෙලොවේ
උත්තම සදහම් දැනගත් – මුනිවරු පවසත් ම ය නිති

787. සන්තෝ ච භික්ඛු අභිනිබ්බුතත්තෝ
ඉති’හන්ති සීලේසු අකත්ථමානෝ
තමරියධම්මං කුසලා වදන්ති
යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලෝකේ

කෙලෙස් නිවුන සිතින් යුතුව – ශාන්ත වූ සමණ තෙමේ
තමන් රකින සිල් ගුණ දම් – කිසිවිට හඬ ගා නො කියයි
යම්කිසි කෙනෙකුට මෙ ලොවේ – කෙලෙස් ඇවිස්සුම් නැතිනම්
උතුම් දෙයක් බව ඒ දෙය – මුනිවරු පවසත් ම ය නිති

788. පකප්පිතා සංඛතා යස්ස ධම්මා
පුරක්ඛතා සන්ති අවීවදාතා
යදත්තනි පස්සති ආනිසංසං
තං නිස්සිතෝ කුප්පපටිච්චසන්තිං

යම් කිසි දහමක් වේ නම් – සිතින් මවා සකස් කෙරුව
පිරිසිදු නැති නොයෙක් වාද – ඒ දේටම එකතු කෙරුව
පෙනෙනා විට ලොකු අනුසස් – තමන් හටත් ලැබෙයි සිතා
වෙනස් වෙලා යන සතුටක් – තුළම ඇලී වසන්නේ ය

789. දිට්ඨිනිවේසා න හි ස්වාතිවත්තා
ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං
තස්මා නරෝ තේසු නිවේසනේසු
නිරස්සතී ආදිසතිච්ච ධම්මං

සුළුවෙන් අත් හළ නොහැකිය – මතයක් තුළ බැසගත් දෙය
එය යහපත් යයි සිතමින් – දැඩිලෙස පැටලී යනු ඇත
එයින් මුලාවන මිනිසා – බැසගත් මතයෙ ම රැඳෙමින්
කලින් කලට අත් හරිමින් – කලින් කලට පිළිගනිමින්
පුරුදු කරයි නොයෙකුත් දේ

790. ධෝනස්ස හි නත්ථි කුහිඤ්චි ලෝකේ
පකප්පිතා දිට්ඨි භවාභවේසු
මායඤ්ච මානඤ්ච පහාය ධෝනෝ
සකේන ගච්ඡෙය්‍ය අනූපයෝ සෝ

අරහත් මුනිඳුට මෙලොවේ – කිසි ලෙසකින් නොමැත්තේය
නොයෙක් කල්පනාවන් තුළ – බැසගත් නිස්සාර වාද
මායා හැම මාන නැසූ – තණ්හා හැම බැහැර කෙරුව
ඒ අරහත් මුනිඳුන් හට – අදාළ නැති මතවාදෙට
පැටලී යන්නේ කෙලෙසද?

791. උපයෝ හි ධම්මේසු උපේති වාදං
අනූපයං කේන කථං වදෙය්‍ය
අත්තං නිරත්තං න හි තස්ස අත්ථි
අධෝසි සෝ දිට්ඨිමිධේව සබ්බන්ති

වාද තුළම ගැලෙනා විට – නැගී සිටිත් ම ය වාදෙට
එහි නොම පැටලෙන කෙනෙකුන් – කොහොමද වාදෙට යන්නේ
ආත්මයක් ඇත කියනා – ඒ ආත්මෙ නැත කියනා
සියළු වාද මත හැදෙනා – බැහැර කරයි ඒ සමණා

දුට්ඨට්ඨක සුත්තං නිට්ඨිතං.

දුෂ්ඨකම නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M