ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

15. අත්තදණ්ඩ සුත්තං

15. ජීවිතයට ලැබෙන හිංසාව ගැන වදාළ දෙසුම

939. අත්තදණ්ඩා භයං ජාතං ජනං පස්සථ මේධගං
සංවේගං කිත්තයිස්සාමි යථා සංවිජිතං මයා

දඬුවම් ලද විට තමන්ට – බිය හටගන්නේ හැම විට
එහෙත් රණ්ඩු කරනා යස – බලව් බාල ජනයා දෙස
මේ ගැන මසිතේ හටගත් – සංවේගය ගැන ඔබ හට
කියා සිටින්නෙමි දැන් මම

940. ඵන්දමානං පජං දිස්වා මච්ඡේ අප්පෝදකේ යථා
අඤ්ඤමඤ්ඤේහි ව්‍යාරුද්ධේ දිස්වා මං භයමාවිසි

ඉතා කුඩා වතුර වළක – දඟලන මාළුන් රැළ ලෙස
එරෙහි වෙමින් ඔවුනොවුන්ට – ක්‍රෝධෙන් දඟළන අය දැක
හටගති මාගේ සිත තුළ – සංවේගය සමග බියක්

941. සමන්තමසාරෝ ලෝකෝ දිසා සබ්බා සමේරිතා
ඉච්ඡා භවනමත්තනෝ නාද්දසාසිං අනෝසිතං

බැලූ බැලූ හැම පැත්තේ – හරයක් නම් නැත මෙ ලොවේ
කම්පිත වී ඇත හැම තැන – මේ කෙළෙසුන්ගෙන් සැකසුන
ආශාවෙන් සිටින නමුත් – තම තමන්ගෙ යහපත ගැන
එබඳු කිසි තැනක් නම් මෙහි – දැක ගන්නට නොමැත්තේය

942. ඕසානෙත්වේව ව්‍යාරුද්ධේ දිස්වා මේ අරතී අහු
අථෙත්ථ සල්ලං අද්දක්ඛිං දුද්දසං හදයනිස්සිතං

ඔවුනොවුන්ට එරෙහි වෙලා – බෙදී සිටින මේ අයගේ
අවසන් කාලය දුටු විට – මා තුළ ඇති වේ අරතිය
හදවත් තුළ කිඳා බැස්ස – පහසුවකින් දැක්ක නොහැකි
දුක හදනා කෙළෙස් යහුල – දැක ගත්තෙමි මා නිසි ලෙස

943. යේන සල්ලේන ඕතිණ්ණෝ දිසා සබ්බා විධාවති
තමේව සල්ලං අබ්බුය්හ න ධාවති න සීදති

කෙලෙස් යහුලකින් පහරක් – වැදුන විටදි ඒ උදවිය
දුවයි තියෙන හැම දෙසටම
ඒ යහුලම මුලිනුපුටා – බැහැර කෙරුව විට හෙතෙමේ
නොදුවන්නේමය කිසිවිට – නොගිලෙන්නේමය කිසිවිට

944. තත්‍ථ සික්ඛානුගීයන්ති
යානි ලෝකේ ගථිතානි න තේසු පසුතෝ සියා
නිබ්බිජ්ඣ සබ්බසෝ කාමේ
සික්ඛේ නිබ්බාන මත්තනෝ

ලොවේ තිබෙන සැප ලබන්ට – ඉගෙන ගනිති නොයෙක් ශිල්ප
නුවණැත්තා නම් එලෙසින් – සැප පසුපස හඹා නොයයි
කාමය වෙනුවෙන් විඳිනා – දුක දැක කළකිරෙමින් හේ
කෙලෙස් ගින්න නිවා ගන්ට – හික්මෙන්නේමය හැමවිට

945. සච්චෝ සියා අප්පගබ්භෝ අමායෝ රිත්තපේසුනෝ
අක්කෝධනෝ ලෝභපාපං වේවිච්ඡං විතරේ මුනි

සත්‍යයෙන්ම කල් ගෙවමින් – දහම තුළම කීකරු වී
මායාවෙන් බැහැරට වී – කේළමක්ද නොම කියමින්
ක්‍රෝධ සිතක් නැති මුනිඳුන් – ලෝභ මසුරුකම පාපය
ඉක්මවමින් යන්නේ වේ

946. නිද්දං තන්දිං සහේ ථීනං පමාදේන න සංවසේ
අතිමානේ න තිට්ඨෙය්‍ය නිබ්බානමනසෝ නරෝ

මැඩලයි හේ හැම තිස්සෙම – නින්ද මෙන්ම අලස බවද
එක් නොම වේ හේ කිසිවිට – ප්‍රමාදයත් සමඟ ලොවේ
මාන්නයෙන් තොර වුන හේ – සිටී නිවන් දකින සිතින්

947. මෝසවජ්ජේ න නිය්‍යේථ රූපේ ස්නේහං න කුබ්බයේ
මානඤ්ච පරිජානෙය්‍ය සාහසා විරතෝ චරේ

බොරුබස් කිසිවක් නොකියන-රූපය ගැන සෙනෙහස නැති
මානෙ සැබෑ තතු දකිමින් – වසයි දරුණු බවින් තොරව

948. පුරාණං නාභිනන්දෙය්‍ය නවේ ඛන්තිං න කුබ්බයේ
හීයමානේ න සෝචෙය්‍ය ආකාසං න සිතෝ සියා

අතීතෙ ගැන සතුටු නොවේ – රුචි නොකරයි වත්මනටද
නැසෙනා දෙය වැනසෙන විට – ඒ දෙය ගැන සෝක නොවෙයි
අහස විලස පැතිර තිබෙන – ඇල්ම ඇසුරු නොකරයි හේ

949. ගේධං බ්‍රෑමි මහෝඝෝති ආජවං බ්‍රෑමි ජප්පනං
ආරම්මණං පකප්පනං කාමපංකෝ දුරච්චයෝ

කාමෙට ඇති වන ගිජු බව – බලවත් වේගයකින් යුතු
සැඩ පහරක් බව පවසමි – දුවනා විට එය පසුපස
යළි යළි නැග එයි ආශා
කාමය යන මඩගොහොරුව – තරණය සුළුපටු නොවේය
හිතෙන්ම සැකසෙමින් තිබෙන – බලවත් අරමුණක්ය එය

950. සච්චා අවොක්කම්ම මුනි ථලේ තිට්ඨති බ්‍රාහ්මණෝ
සබ්බං සෝ පටිනිස්සජ්ජ ස වේ සන්තෝති වුච්චති

සත්‍ය තුලින් බැහැර නොගිය – මුනිඳු නිවන් තලයට පත්හැම
අකුසලයෙන් දුරු වූ – ඒ බමුණිඳු ශාන්ත යයි
නුවණැත්තෝ පවසත්මය

951. ස වේ විද්වා ස වේදගූ ඤත්වා ධම්මං අනිස්සිතෝ
සම්මා සෝ ලෝකේ ඉරියානෝ න පිහේතී’ධ කස්සචි

සදහම් දැක ගත්ත කෙනා – සිටියි නොම බැඳී කිසිවක
හෙතෙමේ මේ ලෝකය තුළ – ඉරියව් හසුරුවයි හොඳින්
කිසිම දෙයක් කෙරෙහි ලොවේ – ආශා ඇති කර නොගනී

952. යෝධ කාමේ අච්චතරි සංගං ලෝකේ දුරච්චයං
න සෝ සෝචති නාජ්ඣේති ඡින්නසෝතෝ අබන්ධනෝ

අසීරුවෙන් ජයගත යුතු – කාම බැඳුම් ඇති ලෝකේ
යමෙක් කාමයන් පිළිබඳ – ඇල්ම බැහැර කෙරුවේ නම්
සෝක නොවේ හේ කිසිදා – ගිලී නොයයි හේ කිසිදා
සිඳ බිඳ සැඩ වතුර පහර – බැඳුම් රහිත වූයේ වේ

953. යං පුබ්බේ තං විසෝසේහි පච්ඡා තේ මාහු කිඤ්චනං
මජ්ඣේ චේ නෝ ගහෙස්සසි උපසන්තෝ චරිස්සසි

තිබුණෙද පෙර කෙලෙස් ඔබට – ඒ හැම වියලා දමන්න
අනාගතේ උපදින්නට – කෙලෙස් නොවේවා ඔබ හට
වර්තමානයේ ඇති වන – කෙලෙසුන් නැතිනම් ඔබ හට
මුළුමණින්ම සැනසී ගොස් – හැසිරෙන්නට හැකිය ඔබට

954. සබ්බසෝ නාමරූපස්මිං යස්ස නත්ථි මමායිතං
අසතා ච සෝචති ස වේ ලෝකේ න ජිය්‍යති

නාම රූප ගැන හැම ලෙස – මමත්වයක් නොමැති කලට
මමත්වයක් නැති බැවින්ම – ශෝක නොම කරයි හේ නම්
සැබැවින් ඔහුමය මෙ ලොවේ – නොපිරිහෙමින් වසන කෙනා

955. යස්ස නත්ථි ඉදං මේති පරේසං වාපි කිඤ්චනං
මමත්තං සෝ අසංවින්දං නත්ථි මේති න සෝචති

යමෙකුන් හට නොමැත්තේද – මම මාගේ යයි කිසිවක්
අනුන්ගෙ දේවල්ය කියා – කිසිවක් ඔහු හට නොමැතිද
මමත්වයෙන් තොරව වසන – ඔහු හට සෝකයක් නොමැත
“අනේ නොමැත මට මේ දේ” – කියමින් කම්පා නොමවෙයි

956. අනිට්ඨුරී අනනුගිද්ධෝ අනේජෝ සබ්බධී සමෝ
තමානිසංසං පබ්‍රෑමි පුච්ඡිතෝ අවිකම්පිනං

ඉරිසියාව නැත ඔහු හට – ගිජු බවක්ද නැත ඔහු තුල
ආශාවන් රහිතය හේ – හැම තැන සම ලෙස පවතී
කම්පාවක් නැත ඔහු හට – තිබෙනා අනුසස් මෙය වේ

957. අනේජස්ස විජානතෝ නත්ථි කාචි නිසංඛිති
විරතෝ සෝ වියාරම්භා ඛේමං පස්සති සබ්බධී

තණ්හා රහිතව වසනා – සදහම් දුටු මුනිඳුන් හට
සංසාරය සකසා දෙන – කිසිම දෙයක් නොමැත්තේය
සංසාරෙන් තොර වූ හේ – නොමැත යළිත් එය හදන්නෙ
බැලූ බැලූ තැන ඔහු හට – කෙම් බිමක්ය පෙනී යන්නෙ

958. න සමේසු න ඕමේසු න උස්සේසු වදතේ මුනි
සන්තෝ සෝ වීතමච්ඡේරෝ නාදේති න නිරස්සතීති

තමා සිටින්නේ සම වූ – පිරිස අතර කියමින් හෝ
හීන පිරිස අතරත හෝ – උසස් පිරිස අතරත හෝ
සිටිනා බව නොකියන හේ – මසුරු මල ද දුරු කරමින්
සැනසුන සිතකින් යුතු වී – කිසිවක් ගන්නේ ද නොවේ
දෙන්නට කිසිවක් ද නොවේ – හේ අරහත් මුනිඳුන් වේ

අත්තදණ්ඩ සුත්තං නිට්ඨිතං.

ජීවිතයට ලැබෙව හිංසාව ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-15/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M