ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

16. සාරිපුත්ත සුත්තං

16. සැරියුත් තෙරුන් නිසා වදාළ දෙසුම

959. න මේ දිට්ඨෝ ඉතෝ පුබ්බේ
න සුතෝ උද කස්සචි
(ඉච්චායස්මා සාරිපුත්තෝ)
ඒවං වග්ගුවදෝ සත්ථා
තුසිතා ගණිමාගතෝ

(ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ)

මීට කළින් මා දැක නැත – කිසිවෙකුගෙන් අසා නොමැත
තුසිත පුරෙන් මිනිස් ලොවට – වැඩි උත්තම සමිඳුන් ගැන
මෙබඳු මිහිරි බස් තෙපළන – තිලොවග ගුරු සමිඳුන් ගැන

960. සදේවකස්ස ලෝකස්ස යථා දිස්සති චක්ඛුමා
සබ්බං තමං විනෝදෙත්වා ඒකෝව රතිමජ්ඣගා

මේ දෙවියන් සහිත ලොවේ – සදහම් ඇස ලබාගත්ත
මුනිඳුන් ලෙස හඳුනයි හේ
සියළු අවිදු අඳුර නසා – හුදෙකළාව වැඩ වෙසෙමින්
සපැමිණියේ නිවන් සැපට

961. තං බුද්ධං අසිතං තාදිං අකුහං ගණිමාගතං
බහුන්නමිධ බද්ධානං අත්ථි පඤ්හේන ආගමං

මිදුනා හේ තණ්හාවෙන් – නොසැලේ අටලෝ දහමින්
කුහක කමින් තොර වූ හේ – පැමිණි සේක පිරිස් මැදට
ඒ බුදු සමිඳාණන් වෙත – ආවෙම් මම සිත සතුටින්
බොහො දෙනාට සෙත සලසන – ප්‍රශ්න අසා විසඳගන්ට

962. භික්ඛුනෝ විජිගුච්ඡතෝ භජතෝ රිත්තමාසනං
රුක්ඛමූලං සුසානං වා පබ්බතානං ගුහාසු වා

ප්‍රශ්න;

රුක් සෙවනෙක හෝ සොහොනක -කඳු ගැටයක ගල් කුටියක
වෙන් වී හැම කාමයෙන්ම – වසමින් හුදෙකලාවේම
සංසාරය පිළිකුල් කළ – සසුනට වන් සමණා හට

963. උච්චාවචේසු සයනේසු කීවන්තෝ තත්ථ භේරවා
යේහි භික්ඛු න වේධෙය්‍ය නිග්ඝෝසේ සයනාසනේ

කුඩා මහත් සෙනසුන් වල – නිහඬව පවතින තැන්වල
භික්ෂුව නොසැලේ නම් එහි – බිය ඇතිවන අරමුණු දැක
තැති ගැනීම ඇති කරවන – අරමුණු කොතරම් තිබේද?

964. කතී පරිස්සයා ලෝකේ ගච්ඡතෝ අගතං දිසං
යේ භික්ඛු අභිසම්භවේ පන්තම්හි සයනාසනේ

ඈත සෙනසුනේ වසනා – නොගිය නිවනටම වඩිනා
සමණ වීරියෙන් මඩිනා – කොතෙක්ද උවදුරු තිබෙනා?

965. ක්‍යාස්ස ව්‍යප්පථයෝ අස්සු ක්‍යාස්සස්සු ඉධ ගෝචරා
කානි සීලබ්බතානස්සු පහිතත්තස්ස භික්ඛුනෝ

තබා දිවිය පරදුවටම – වෙර වඩනා සමණිඳු හට
කුමක් ලැබේවිද අසන්ට – කුමන සීලයක් රකින්ට?
කවර තැනක සැරිසරන්ට – ලැබේද ඒ සමණා හට?

966. කං සෝ සික්ඛං සමාදාය ඒකෝදි නිපකෝ සතෝ
කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ

කවර සීලයක් රකිමින් – සමාධිගත සිතින් යුතුව
නුවණ හසුරුවා මැනවින් – කෙලෙසින් හැසිරෙන කෙනාද
රන්කරුවෙක් රිදියෙහි මල – පිරිසිදු කර හරින ලෙසින්
සිතේ තිබෙන කෙලෙස් කහට – බැහැරට දුරු කරලන්නේ?

967. විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු
(සාරිපුත්තාති භගවා)
රිත්තාසනං සයනං සේවතෝ චේ
සම්බෝධිකාමස්ස යථානුධම්මං
තං තේ පවක්ඛාමි යථා පජානං

(භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ ප්‍රශ්නයන්ට මේ පිළිතුරු ගාථා රත්නයන් වදාළ සේක)

සංසාරය පිළිකුල් කළ – සියළු කාමයෙන් වෙන්වුන
වසමින් හුදෙකලාවේම – නිවන් ලබාගනු කැමතිව
බුදුසසුනේ සමණා හට – පහසු ජීවිතේ සලසන
එයටම ගැළපෙන සදහම් – දැනගත් කෙනෙකුන් වශයෙන්
පවසන්නෙමි මා ඔබ හට – මැනවින් එය ඉගෙන ගන්න

968. පඤ්චන්නං ධීරෝ භයානං න භායේ
භික්ඛු සතෝ සප්පරියන්තචාරිං
ඩංසාධිපාතානං සිරිංසපානං
මනුස්සඵස්සානං චතුප්පදානං

නැණැති සමණ බිය නොවනා -කරුණු පහකි බිය හැදෙනා
සිහියෙන් හේ වසනා විට – සදහම් සීමා ඇතුළත
ලේ උරනා මැසි මදුරුද – ඝෝර විසැති උරගයින්ද
මිනිසුන්ගෙන් එන පහසද – පා සතරෙක් යුතු සතුන්ද
බිය හදනා මේවා හට – කිසිම බියක් නැත සමණා.

969. පරධම්මිකානම්පි න සන්තසෙය්‍ය
දිස්වාපි තේසං බහුභේරවානි
අථාපරානි අභිසම්භවෙය්‍ය
පරිස්සයානි කුසලානු ඒසී

වෙන ආගම්වල අය හට – හේ නොම බිය වන්නේ වේ
දකින නමුත් ඔවුන් හදන – අරමුණු බිය ඇති කරවන
තවත් එවැනි බොහො උවදුරු – කොතෙකුත් ලැබුණත් ඔහු හට
මඩිමින් ඒ හැම අරමුණු – විමසාලයි කුසල් දහම්

970. ආතංකඵස්සේන ඛුදාය ඵුට්ඨෝ
සීතං අථුණ්හං අධිවාසයෙය්‍ය
සෝ තේහි ඵුට්ඨෝ බහුධා අනෝකෝ
විරියං පරක්කම්ම දළ්හං කරෙය්‍ය

රෝග දුකක් වැළඳුන විට – පෙළෙනා විට කුසගින්නේ
දැඩි සීතල ලැබෙනා විට – රත්වෙන විට ගිනි අව්වේ
ඉවසයි හේ සිහි නුවණින් – එවැනි කටුක වූ දේවල්
ජීවිතයට ඒ අයුරින් – ලැබෙනා විට ඒ දේවල්
වඩයි වීරියම මැනවින් – නිවනට යන සමණ තෙමේ

971. ථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍ය
මෙත්තාය ඵස්සේ තසථාවරානි
යදා විලත්තං මනසෝ විජඤ්ඤා
කණ්හස්ස පක්ඛෝති විනෝදයෙය්‍ය

සොරකම් කිසිවක් නොකරයි -බොරුවක් කිසිවිට නොකියයි
සැලෙනා නොසැලෙන සත හට-මෙත් සිත මැනවින් පතුරයි
යම් හෙයකින් තම සිත තුළ – කැළඹී ගිය බව දුටු විට
එය අකුසලයක් බව දැන – සැනෙකින් බැහැරට කරලයි

972. කෝධාතිමානස්ස වසං න ගච්ඡේ
මූලම්පි තේසං පලිඛඤ්ඤ තිට්ඨේ
අථප්පියං වා පන අප්පියං වා
අද්ධා භවන්තෝ අභිසම්භවෙය්‍ය

ක්‍රෝධයකින් හෝ මානෙන් – වසඟයකට නොයන්නේය
කෙලෙසුන්ගේ මුල හඳුනා – එය උදුරා දමන්නේය
කැමති දෙයක් හෝ අකැමති – කවර දෙයක් ලද විට හේ
සැබැවින් නුවණැති සමණා – අකුසලයන් මඩින්නේය

973. පඤ්ඤං පුරක්ඛත්වා කල්‍යාණපීති
වික්ඛම්භෙය්‍ය තානි පරිස්සයානි
අරතිං සහේථ සයනම්හි පන්තේ
චතුරෝ සහේථ පරිදේවධම්මේ

ප්‍රඥාවම පෙරට රැගෙන – දැහැමින් වසමින් සතුටින්
ඒ හැම උවදුරු මඩිමින් – දහම තුළම සිටින්නේය
ඈත සෙනසුනේ වසන්ට – අකැමති බව දුරු කරමින්
වැළපෙන මේ දහම් සතර – බැහැරට කර දමන්නේය

974. කිංසු අසිස්සාමි කුවං වා අසිස්සං
දුක්ඛං වත සෙත්ථ කුවජ්ජ සෙස්සං
ඒතේ විතක්කේ පරිදේවනෙය්‍යේ
විනයේථ සේඛෝ අනිකේතසාරී

කුමක්ද වළඳන්නේ මම්? – කොහේද වළඳන්නේ මම්?
ඊයේ සැතපුනේ දුකින් – අද කොහේද සැතපෙන්නේ?
වැළපීමක් ඇති කරවන – මෙවැනි බොළඳ කල්පනාව
නිවසක් නොමැතිව හැසිරෙන – සදහම් මග තුළ හික්මෙන
නැණවත් වූ සමණ තෙමේ – බැහැරට කර දමන්නේය

975. අන්නං ච ලද්දා වසනං ච කාලේ
මත්තං සෝ ජඤ්ඤා ඉධ තෝසනත්ථං
සෝතේසු ගුත්තෝ යතචාරි ගාමේ
රුසිතෝපි වාචං ඵරුසං න වජ්ජා

වසනා කැප කාලය තුළ – ලැබෙනා ආහාර පාන
නුවණින් පිළි අරගන්නා – පමණ දනී ඒ සමණා
ඉඳුරන් රැකගෙන මැනවින් – ගම තුල හැසිරෙන විටදී
ඇසුනොත් කෙනෙකුගෙ රළු බස් – නොකියයි හේ නපුරු බසක්

976. ඔක්ඛිත්තචක්ඛු න ච පාදලෝලෝ
ඣානානුයුත්තෝ බහුජාගරස්ස
උපේඛමාරබ්භ සමාහිතත්තෝ
තක්කා සයං කුක්කුච්චඤ්චුපඡින්දේ

බිම යොමු වූ ඇස් ඇති හේ – ඇවිදින ආශා නැත්තෙකි
දැහැන් වඩයි නිරතුරුවම – රෑ කල බොහො නිදිද වරයි
එකඟ සිතින් යුතු වූ හේ – මැදහත් බව ඇති කරගෙන
අකුසල තර්කද කුකුස්ද – උදුරන්නේමය මුලින්ම

977. චුදිතෝ වචීහි සතිමාභිනන්දේ
සබ්‍රහ්මචාරීසු ඛිලං පභින්දේ
වාචං පමුඤ්චෙ කුසලං නාතිවේලං
ජනවාදධම්මාය න චේතයෙය්‍ය

වරදක් පෙන්වා දුන් විට – සිහියෙන් සතුටින් පිළිගෙන
ක්‍රෝධ සිතක් ඇති නොකරයි – ළග වසනා උතුමන් ගැන
කතා බහක් කරන විටද – කාලය හසුරුවයි හොඳින්
රටේ තිබෙන මනස්ගාත – ගැන සිතිවිලි නූපදවයි

978. අථාපරං පඤ්චරජානි ලෝකේ
යේසං සතීමා විනයාය සික්ඛේ
රූපේසු සද්දේසු අථෝ රසේසු
ගන්ධේසු ඵස්සේසු සහේථ රාගං

හැම කෙලෙසුන් හට ගන්නා – තැන් පහ ලෝකේ තිබෙනා
එහි ඇල්මද දුරු කරමින් – සිහියෙන් හික්මී සිටිමින්
රූප, ශබ්ද, හා සුවඳත් – එලෙසින් රස පහස ගැනත්
මේවා ගැන ඇති රාගය – මැඩලන්නේමය මැනවින්

979. ඒතේසු ධම්මේසු විනෙය්‍ය ඡන්දං
භික්ඛු සතිමා සුවිමුත්තචිත්තෝ
කාලේන සෝ සම්මා ධම්මං පරිවිමංසමානෝ
ඒකෝදිභූතෝ විහනේ තමං සෝති

මේ ගැන සිත තුළ තිබෙනා – කැමැත්ත බැහැරට කරනා
නුවණින් යුතු ඒ සමණා – නිදහස් වී යයි සැමදා
කාලය හඳුනාගෙන හේ – මැනවින් විමසයි සදහම්
සමාධි ගත සිතින් යුතුව – වනසයි මේ අවිදු අඳුර

සාරිපුත්ත සුත්තං නිට්ඨිතං.

සාරිපුත්ත තෙරුන් නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

අට්ඨක වග්ගෝ චතුත්ථෝ.

(ගාථා අට බැගින් වදාළ දෙසුම් ඇතුළත් අට්ඨක වර්ගය යි.)

තස්සුද්දානං :

(මේ දෙසුමේ අන්තර්ගත දෙසුම්)

කාම ගුහට්ඨ දුට්ඨාව – සුද්ධට්ඨ පරමා ජරා
මෙත්තෙය්‍යො ච පසූරෝ ච – මාගන්දි පුරාභේදනං
කලහං ද්වේව ව්‍යුහානි – පුනරේව තුවට්ටකං
අත්තදණ්ඩං ථේරසුත්තං – ථේර පඤ්හේන සෝළස
තානි ඒතානි සුත්තානි – සබ්බානට්ඨකවග්ගිකාති

මෙම කොටසේ අන්තර්ගත දෙසුම්

1. කාමයන් ගැන වදාළ දෙසුම

2. ජීවිත ගුහාව ගැන ගාථා අටක දෙසුම

3. දුෂ්ටකම ගැන ගාථා අටක දෙසුම

4. පිරිසිදු කම ගැන ගාථා අටක දෙසුම

5. උතුම්කම ගැන ගාථා අටක දෙසුම

6. ජරාවට පත්වීම ගැන දෙසුම

7. තිස්සමෙත්තෙය්‍ය

8. පසූර

9. මාගන්දිය

10. “බිඳී යන්නට පෙර” ගැන දෙසුම

11. කලහවිවාද

12. මතවාද ලිහා දැමීම ගැන කුඩා දෙසුම

13. මතවාද ලිහා දැමීම ගැන ලොකු දෙසුම

14. වහා ප්‍රතිඵල ලැබීම ගැන දෙසුම

15. ජීවිත හිංසාව

16. සැරියුත් තෙරුන්ට වදාළ දෙසුම

අට බැගින් යුතු කොටස තුළ මේ සියළු දෙසුමන් තිබේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-16/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M