ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

12. චූලවියූහ සුත්තං

12. මතවාද ලිහා දැමීම ගැන වදාළ කුඩා දෙසුම

882. සකං සකං දිට්ඨිපරිබ්බසානා
විග්ගය්හ නානා කුසලා වදන්ති
යෝ ඒවං ජානාති ස වේදි ධම්මං
ඉදං පටික්කෝස’මකේවලී සෝ

තම තමන් ගේ මතයන් තුළ – ගිලමින් ඒ මත දැඩිකොට
“අපි හපන්නු වෙමු මේ ගැන” – සිතා කියති එය වෙන්කොට
යමෙක් දනී නම් මේ දෙය – හේ දන්නේමය සදහම්
මෙය පිළිකෙව් කළොත් එහෙම – හේ ළාමක නරයෙක් ම ය

883. ඒවම්පි විග්ගය්හ විවාදියන්ති
බාලෝ පරෝ අක්කුසලෝති චාහු
සච්චෝ නු වාදෝ කතමෝ ඉමේසං
සබ්බේව හිමේ කුසලාවදානා

දැඩිව රැගෙන මේ අයුරින් – කරත් වාද හා විවාද
අනික් සියළු දෙන මෝඩ ය – අසමත් අය ලෙස පවසත්
කවුරුද මේ අය අතුරින් – ඇත්තක් ගැන කියන කෙනා?
පවසති මේ සියල්ලෝම – දක්ෂයි තම තමන් කියා

884. පරස්ස චේ ධම්මමනානුජානං
බාලෝ මගෝ හෝති නිහීනපඤ්ඤෝ
සබ්බේව බාලා සුනිහීනපඤ්ඤා
සබ්බේවිමේ දිට්ඨිපරිබ්බසානා

වෙන කෙනෙකුගෙ කිසි දහමක් – කිසිවිට අනුමත නොකරන
ඤාණය නැති, මොළයක් නැති – වැටහෙන නුවණින් තොර වූ
අනුවණ ඒ සියළු දෙනා – සැබැවින් හීනය නුවණින්
තම තමන් ගෙ මතයන් තුළ – ගිලී සිටිති මේ සැම දෙන

885. සන්දිට්ඨියා චේව න වේවදාතා
සංසුද්ධපඤ්ඤා කුසලා මුතීමා
න තේසං කෝචි පරිහීනපඤ්ඤෝ
දිට්ඨි හි තේසම්පි තථා සමත්තා

යම්කිසි මතයකින් නමුත් – නො ම පැටලේ නම් වාදෙට
නුවණෙහි පවතින පිරිසිදු – වටහා ගැනුමෙහි සමර්ථ
උදවිය නැත ඔවුන් අතර – පිරිහුනු, වැටහීමක් නැති
ඔවුන් තමන් ගේ මතයන් – ඇසුරු කරන අයුරු ය ඒ

886. න චාහමේතං තථියන්ති බ්‍රෑමි
යමාහු බාලා මිථු අඤ්ඤමඤ්ඤං
සකං සකං දිට්ඨිමකංසු සච්චං
තස්මා හි බාලෝති පරං දහන්ති

මෝඩ කමින් එකිනෙකාට – වාද නගා කරති රණ්ඩු
එවැනි දෙයක් නො කියමි මම – ඇත්තක් විලසින් කිසිවිට
තම තමන්ගේ මතවාද ම – “ඇත්තම” යයි පවසන මුත්
අනිත් හැමෝට ම පෙනෙන්නෙ – ඔවුන් ගෙ ඇති බොළඳකමයි

887. යමාහු සච්චං තථියන්ති ඒකේ
තමාහු අඤ්ඤේ තුච්ඡං මුසාති
ඒවම්පි විග්ගය්හ විවාදියන්ති
තස්මා න ඒකං සමණා වදන්ති

ලොවේ සිටින ඇතැම් පිරිස – ඇත්තක් යයි කියනා දෙය
තව පිරිසක් හිනැහෙති එය – හිස් බොරුවක් යයි කියමින්
මේ ලෙසින් ය හටගන්නේ – නොයෙකුත් කලහ ද විවාද
ඒකයි මිසදිටු උදවිය – එක දහමක් නොම කියන්නේ

888. ඒකං හි සච්චං න දුතියමත්ථි
යස්මිං පජා නෝ විවදේ පජානං
නානා තේ සච්චානි සයං ථුනන්ති
තස්මා න ඒකං සමණා වදන්ති

ලොවේ ඇත්ත නම් එකක් ය – දෙවැනි දෙයක් නොමැත්තේ ය
මෙය නුවණින් දුටුව කෙනා – නො ම පැටලේමය වාදෙට
එනමුදු මත පවසන අය – නොයෙක් නොයෙක් ඇත්ත කියති
එනිසාමය මිසදිටු අය – එක ඇත්තක් නොම කියන්නෙ

889. කස්මා නු සච්චානි වදන්ති නානා
පවාදියා සේ කුසලා වදානා
සච්චානි සුතානි බහූනි නානා
උදාහු තේ තක්කමනුස්සරන්ති

ඇයි ඒ අය පවසන්නේ – නොයෙක් ඇත්ත තිබෙනා බව
වාද කරන්නට අපි නම් – හරිම හපන් යයි කියමින්
ලැබුනාවත් දෝ අසන්ට – ලොවේ තිබෙන බොහෝ ඇත්ත?
එසේ නොමැති නම් තර්කෙන් – එය ගළපාගෙන කියත්ද?

890. න හේව සච්චානි බහූනි නානා
අඤ්ඤත්‍ර සඤ්ඤාය නිච්චානි ලෝකේ
තක්කඤ්ච දිට්ඨිසු පකප්පයිත්වා
සච්චං මුසාති ද්වයධම්මමාහු

නිත්‍ය කියා හඳුනා ගෙන – හිතින් මවා ගත් දේ හැර
ඒ අය ඔය කියන පරිදි – නැත බොහො සත්‍යයන් ලොවේ
තර්ක වලින් ගත් මතයන් – ගළපා සකසා ගොතමින්
“මාගේ බස පමණි ඇත්ත” – ඔය බස බොරුවකි’යි කියත්

891. දිට්ඨේ සුතේ සීලවතේ මුතේ වා
ඒතේ ච නිස්සාය විමානදස්සී
විනිච්ඡයේ ඨත්වා පහස්සමානෝ
බාලෝ පරෝ අක්කුසලෝති චාහ

දැකුමෙන්, ඇසුමෙන්, සීලෙන් – සුවඳින් හා රස පහසින්
ලැබෙනා දැනුමක ඇසුරින් – තමා උසස් යයි සිතමින්
බැස ගනිමින් තීරණයට – තමා ගැනම සතුටු වෙමින්
මෝඩයෝය අනික් පිරිස – අදක්ෂ යයි හෙළා දමත්

892. යේනේව බාලෝති පරං දහාති
තේනාතුමානං කුසලෝති චාහ
සයමත්තනා සෝ කුසලාවදානෝ
අඤ්ඤං විමානේති තථේව පාවා

යම් කරුණක් මතු කරගෙන – අනුන් මෝඩයෝ කියමින්
ඒ කරුණම ඇති තමාට – පණ්ඩිතයෙක් වෙමි කියමින්
එකම කරුණ හරවා ගෙන – තමාව පණ්ඩිත කරවයි
ඒ කරුණම හරවා ගෙන – අනුන් මෝඩයන් කරවයි

893. අතිසාරදිට්ඨියා සෝ සමත්තෝ
මානේන මත්තෝ පරිපුණ්ණමානී
සයමේව සාමං මනසාභිසිත්තෝ
දිට්ඨිහි සා තස්ස තථා සමත්තා

දැඩිලෙස අරගෙන මිසදිටු – මත් වී මහ මානයෙකින්
පිරිපුන් මතයෙන් යුතු ලෙස – තමා තමන් ගැන සිතමින්
තමන් ගේ මනසින් තමා ම – ඔටුන්න පළඳවා ගනී
තමන්ම ඇතිකරගත් මත – ඇසුරු කරන අයුරු ය ඒ

894. පරස්ස චේ හි වචසා නිහීනෝ
තුමෝ සහා හෝති නිහීනපඤ්ඤෝ
අථ චේ සයං වේදගූ හෝති ධීරෝ
න කෝචි බාලෝ සමණේසු අත්ථි

අනුන් කරන නින්දාවෙන් – හීන වෙලා යන්නේ නම්
එහෙම හිතා ගන්න කෙනා – ඒ ළාමක ගොඩට වැටේ
ඉදින් තම තමා තනියම – නැණවත් අරහත් වේ නම්
ශ්‍රමණ පිරිස් අතර කිසිම – මෝඩයෙක් සිටිනු නොහැකි ය

895. අඤ්ඤං ඉතෝ යාභිවදන්ති ධම්මං
අපරද්ධා සුද්ධිමකේවලි තේ
ඒවම්පි තිථ්‍යා පුථුසෝ වදන්ති
සන්දිට්ඨිරාගේන හි තේභිරත්තා

“මා කියනා දෙයින් බැහැර – දෙයක් ගනී නම් කිසිවෙක්
වැරදුනාය ඒ අය හට – ජීවිතයේ පිරිසිදු බව”
මේ ලෙස වෙන ආගම්වල – දොඩවති මහ පුරසාරම්
තමා ගෙ මතයට රාගෙන් – එහි ම ඇලී සිටිති ඔවුන්

896. ඉධේව සුද්ධිං ඉතිවාදියන්ති
නාඤ්ඤේසු ධම්මේසු විසුද්ධිමාහු
ඒවම්පි තිථ්‍යා පුථුසෝ නිවිට්ඨා
සකායනේ තත්ථ දළ්හං වදානා

‘මෙහි පමණයි පිරිසිදු බව’ – අගතියකින් පවසන අය
වෙනත් දහමකින් පිරිසිදු – බවක් ලැබෙන බව නොකියති
වෙන ආගම් වල උදවිය – මේ ලෙස බොහො මතයන් තුළ
දැඩි ලෙස තරයේ බැඳෙමින් – තම මතේ ම ගිලා බසිත්

897. සකායනේ චාපි දළ්හං වදානෝ
කමෙත්ථ බාලෝති පරං දහෙය්‍ය
සයමේව සෝ මේධගං ආවහෙය්‍ය
පරං වදං බාලමසුද්ධිධම්මං

දැඩි ලෙස ගෙන තම වාද ම – වාද කරන ඒ උදවිය
කොහොමද තව කෙනෙකුන් හට – මෝඩ කියා පවසන්නේ?
පිරිසිදු දහමක් නො ලැබුණ – මේ අය මෝඩයෝ කියා
තමා ම මෝඩයෙක් වෙලා – ඒ කලබල ඇති කරන්නේ

898. විනිච්ඡයේ ඨත්වා සයං පමාය
උද්ධං සෝ ලෝකස්මිං විවාදමේති
හිත්වාන සබ්බානි විනිච්ඡයානි
න මේධගං කුරුතේ ජන්තු ලෝකේති

තමා ම යමකින් මැනගෙන – බැස ගනිමින් තීරණයට
ලෝකෙ අනිත් අය සමඟින් – පැටලී යයි වාදයට ම
වාදයක් ම ඇති කරවන – හැම තීරණ බැහැර කෙරුව
නුවණැත්තා මේ ලෝකේ – නො කරයි කිසිදින කලබල

චූලවියූහ සුත්තං නිට්ඨිතං.

මතවාද ලිහා දැමීම ගැන වදාළ කුඩා දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M