ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

10. පුරාභේද සුත්තං

10. “ජීවිතය බිඳී යන්නට පෙර” නමින් වදාළ දෙසුම

852. කථංදස්සී කථංසීලෝ උපසන්තෝති වුච්චති
තං මේ ගෝතම පබ්‍රෑහි පුච්ඡිතෝ උත්තමං නරං

(ඍද්ධි බලයෙන් මවන ලද බුදු සමිඳු)

කෙලෙසින් ලොව දුටු කෙනා ද – කෙලෙසින් සිල් රැකි කෙනා ද
උපශාන්ත උතුමා යැයි – කිව යුතු වන්නේ ?
පින්වත් ගෞතමයාණනි – ඒ උත්තම මිනිසා ගැන
මා අසනා මේ පැනයට – පිළිතුරු පහදා දුන මැන

853. වීතතණ්හෝ පුරා භේදා (ඉති භගවා)
පුබ්බමන්තමනිස්සිතෝ
වේමජ්ඣේනුපසංඛෙය්‍යෝ තස්ස නත්ථි පුරෙක්ඛතං

(භාග්‍යවතුන් වහන්සේ)

සිරුර බිඳී යන්ට පළමු – හැම තණ්හාව ම දුරු කළ
අතීතයේ නොම පැටලුන – වර්තමානයේ නො ඇලුණ
ඒ අරහත් මුනිඳුන් හට – නැත පැතුමන් අනාගතේ

854. අක්කෝධනෝ අසන්තාසීි – අවිකත්ථි අකුක්කුචෝ
මන්තභාණී අනුද්ධතෝ – ස වේ වාචායතෝ මුනි

ක්‍රෝධ සිතක් ඇති නොවනා – නො සැලෙන සිතකින් වසනා
තමා හුවා නො ම දකිනා – දහමේ සැක නොමැති කෙනා
නුවණින් දැන කතා කරන – උඩඟු සිතක් සකස් නොවන
සැබැවින් ඒ අරහත් මුනි – සංසුන් බස් ඇති උතුමෙකි

855. නිරාසත්ති අනාගතේ – අතීතං නානුසෝචති
විවේකදස්සී ඵස්සේසු – දිට්ඨීසු ච න නීයති

මතු භවයට නැත ඇලීම – අතීතෙ ගැන නොමැත සෝක
ලැබෙනා කිසි අරමුණකට – නො වැටී මතවාදයකට
නිදහස් වී ගිය මනසින් – විවේකයෙන් වසන්නේ ය

856. පතිලීනෝ අකුහකෝ – අපිහාලු අමච්ඡරී
අප්පගබ්භෝ අජේගුච්ඡෝ – පේසුනෙය්‍යේ ච නෝ යුතෝ

හුදෙකලාව සිටිමින්නේ – කුහක සිතින් තොර වන්නේ
තණ්හාවෙන් ගැලවෙන්නේ – මසුරු කමින් දුරු වන්නේ
දරදඬු ගති ගුණයක් නැති – පිළිකුල් නැති සීලය ඇති
කේළම් බස් නොම කියනා – හේ වේ සංවර උතුමා

857. සාතියේසු අනස්සාවී – අතිමානේ ච නෝ යුතෝ
සණ්හෝ ච පටිභානවා – න සද්ධෝ න විරජ්ජති

රසවත් දේ වල නො ඇලී – මහලොකුවට හිතට නොගෙන
සිනිඳු සොඳුරු බස් පවසන – මිසදිටු මත නොම අදහන
වීතරාගී මුනි උතුමා – නොමැත විරාගයේ පවා

858. ලාභකම්‍යා න සික්ඛති – අලාභේ න ච කුප්පති
අවිරුද්ධෝ ච තණ්හාය – රසේසු නානුගිජ්ඣති

ලාභය උපදවා ගන්ට – පුරුදු නොම කරයි සදහම්
අලාභයක් ලැබුන විටදී – වසයි එයට නොකිපීමෙන්
කිසි දේකට නොම ගැටෙමින් – රස තණ්හා දුරු කරමින්
උපශාන්ත වූ මුනිඳුන් – වසයි ගිජු කමක් නොමැතිව

859. උපෙක්ඛකෝ සදා සතෝ න ලෝකේ මඤ්ඤතේ සමං
න විසේසී න නීචෙය්‍යෝ තස්ස නෝ සන්ති උස්සදා

හැම විට සිහියම යොදමින් – යොමු වී මැදහත් නුවණින්
ලොවේ සිටින කිසිවෙකු ගැන – තමන් සමානව නොසිතයි
තමා උඩට ඇද නොගනියි – ළාමක කරමින් නොසිතයි
උපශාන්ත මුනිඳුන් හට – කෙලෙස් ඇවිස්සුන සිත් නැත

860. යස්ස නිස්සයතා නත්ථි ඤත්වා ධම්මං අනිස්සිතෝ
භවාය විභවාය වා තණ්හා යස්ස න විජ්ජති

සදහම් නුවණින් දකිමින් – අකුසලයේ නොම යෙදෙමින්
කාම සිතක් පහළ නොවන – වීතරාගි මුනිඳුන් හට
ඒ මුනිඳුන් හට නොමැති ද – දුක හදනා අකුසල් ගැට
තරණය කෙරුවේ ඒ අය – මේ තණ්හා සැඩ දිය කඳ

861. තං බ්‍රෑමි උපසන්තෝති කාමේසු අනපෙක්ඛිනං
ගන්ථා තස්ස න විජ්ජන්ති අතාරි සෝ විසත්තිකං

ඔහු ගැන පවසාලමි මම – උපශාන්ත කෙනෙක් විලස
කාමය ගැන පැතුමක් නැති -ඔහුට නොමැත කෙළෙස් ගැටද
තරණය කර දැමුවේ හේ – මේ තණ්හා සැඩ දිය කඳ

862. න තස්ස පුත්තා පසවෝ ඛෙත්තං වත්ථුං ච විජ්ජති
අත්තා වාපි නිරත්තා වා න තස්මිං උපලබ්භති

ඔහු හට නොමැති ය දරුවෝ – කෙත් වතු හා නැත ගවයෝ
ඇත-නැත ලෙස බැඳෙන අන්ත-ඔහු තුළ නොමැතිය දකින්ට

863. යේන නං වජ්ජු පුථුජ්ජනා අථෝ සමණබ්‍රාහ්මණා
තං තස්ස අපුරෙක්ඛතා තස්මා වාදේසු නේ’ජති

පුහුදුන් ගති ඇති මෙ ලොවේ – ශ්‍රමණ බමුණු හැම වාගේ
දොස් පවරත් නම් යමකින් – ඒ දොස් නැත රහතුන් හට
උපශාන්ත මුනිඳුන් හට – කවුරුත් නින්දා කළමුත්
ඒ කිසිවක් ගැන ඔවුන්ට – කම්පා සිත් නැත කිසිවිට

864. වීතගේධෝ අමච්ඡරී න උස්සේසු වදතේ මුනි,
න සමේසු න ඕමේසු කප්පං නේති අකප්පියෝ

තණ්හා රහිත ව වසනා – මසුරු සිතක් ඇති නොවනා
ඒ අරහත් මුනි උතුමා – නො සිතන්නේ මය කිසිදින
උතුමන් ගේ පිරිසේ යයි – නොම පවසයි කිසිම දිනක
සම පිරිසට අයත් කියා – මැසිවිලි නොනගයි කිසිවිට
හීන අයට අයත් කියා
මතවාදයකට නොබැඳුන – සියළු වාද රහිතය හේ

865. යස්ස ලෝකේ සකං නත්ථි අසතා ච න සෝචති
ධම්මේසු ච න ගච්ඡති ස වේ සන්තෝති චුච්චතීති

තමා ගෙ යයි ගත් කිසිවක් – ලොවේ යමෙකු හට නොමැති ද
එවැනි යමක් නො ලැබෙන විට – සෝක සිතක් නැත කිසිවිට
කිසිම දෙයක අගතියකට – නොයනා ගතිගුණ ඇත්තේ
ඔහු ගැන සැබැවින් කිව යුතු – උපශාන්ත මුනිඳුන් ලෙස

පුරාභේද සුත්තං නිට්ඨිතං.

‘ජීවිතය බිඳී යන්නට පෙර’ නමින් වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M