මේ ආකාරයෙන්ය මා විසින් අසා දැනගන්නා ලද්දේ.
එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ ඉච්ඡානංගල නම් ගමෙහි වනගත පරිසරයකය. ඒ සමයෙහි ඉතා ප්‍රසිද්ධ වූ බ්‍රාහ්මණ ප්‍රභූවරු බොහෝ පිරිසක් ඉච්ඡානංගල ගමෙහි වාසය කරති. ඔවුන් වනාහි, චංකී බ්‍රාහ්මණය, තාරුක්ඛ බ්‍රාහ්මණය, පොක්ඛරසාති බ්‍රාහ්මණය, ජාණුස්සෝනි බ්‍රාහ්මණය, ආදී අනෙක් ඉතා ප්‍රසිද්ධ බ්‍රාහ්මණ ප්‍රභූවරුය. එකල ව්‍යායාම පිණිස එහා මෙහා සක්මන් කරමින් සිටින වාසෙට්ඨ භාරද්වාජ යන බ්‍රාහ්මණ තරුණයන් දෙදෙනා අතර මේ කථාබහ ඇති විය.
“භවත, බ්‍රාහ්මණයෙකු බවට පත්වන්නේ කෙසේද?”
භාරද්වාජ තරුණයා මෙසේ කීවේය.
“භවත, යම් කරුණක් නිසා මව් – පිය දෙපසින් පිරිසිදු උපතක් ඇති වේ නම්, මව් කුස පිරිසිදු නම්, පිය පක්ෂයෙන්ද පරම්පරා හතක් දක්වා නින්දා රහිතව, ජාති වශයෙන් නොකිළිටි වුයේ වේද, මෙතෙකින් බ්‍රාහ්මණයෙකු බවට පත් වේ”.
එවිට වාසෙට්ඨ තරුණයා මෙසේ කීවේය.
“භවත, යම් කරුණකින් සිල්වත් වේද, මනා වත පිළිවෙතින් යුතු වේද, මෙපමණකින්ය බ්‍රාහ්මණයෙකු බවට පත් වන්නේ”.
භාරද්වාජ තරුණයා වාසෙට්ඨ තරුණයාට කරුණු පහදා දෙන්නට අසමර්ථ විය. වාසෙට්ඨ තරුණයාද භාරද්වාජ තරුණයාට කරුණු පහදා දෙන්නට අසමර්ථ විය.
එකල්හි තරුණ වාසෙට්ඨ තෙමේ භාරද්වාජ තරුණයා ඇමතීය.
“භාරද්වාජ, ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් ඉච්ඡානංගල ගමෙහි ඉච්ඡානංගල වනලැහැබෙහි වැඩවෙසෙති. ඒ භවත් ගෞතමයන්ගේ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් මේ ආකාරයෙන් පැන නැංගේ වේ. ඒ භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. බුද්ධත්වයට පත් වූ කෙනෙකි. භාග්‍යවන්ත වූ කෙනෙකි’යි.
යමු භාරද්වාජයෙනි, ඒ ශ්‍රමණ ගෞතමයන් වෙත යමු. එහි ගොස් ශ්‍රමණ ගෞතමයන්ගෙන් මෙහි අර්ථය විමසමු. ශ්‍රමණ ගෞතමයාණෝ යම් ආකාරයෙකින් අපට පිළිතුරු දෙත් නම් ඒ ආකාරයෙන් සිතේ දරාගන්නෙමු”.
“එසේය භවතැ”යි භාරද්වාජ තරුණයා වාසෙට්ඨ තරුණයා හට පිළිතුරු දිනි.
ඉක්බිති වාසෙට්ඨ – භාරද්වාජ තරුණයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුට දනවන පිළිසඳර කතා නිමාකොට එක් පසෙකින් හිඳ ගත්තාහුය. එක් පසෙකින් හුන් වාසෙට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් සැළ කෙළේය.
භවත, මේ අපි දෙදෙනා – ඉගෙන අවසන් කොට ත්‍රිවේදය
මැනවින් සමත් වූ – සිසුන් දෙදෙනෙක් වෙමු
මෙමා සිසුවෙක් වෙමි – පොක්ඛරසාතිගේ
මේ තරුණයා නම් – තාරුක්ඛගේ සිසුවෙකි
ත්‍රිවේදය ගැන කියා ඇති හැම – ඉගෙන ගෙන අපි නිපුණයෝ වෙමු
ව්‍යාකරණ, පද, මන්ත්‍ර, ජප ගැන – ගුරුවරුන් හා සදිසි වෙමු අපි
ඒ අප දෙදෙනා අතරේ – වාදයෙකි ගෞතමයාණෙනි
උපතින් බමුණු වේ යයි – භාරද්වාජ පවසයි
මෙහි ලා මම කියමි – ක්‍රියාවෙන් බමුණු වන බව
එකිනෙකා හට අපි – නොහැකි වෙමු මෙය පහද ගන්නට
දහම් ඇස් ඇතියාණනි, මෙයයි දැන ගත මැනවි වාදය
පුන් සඳ දුටුව විට – එයට වඳිනා දන සේ
ගෞතම වෙතට පැමිණෙන – ලෝ දනා නමඳිත් වඳිත්
ලොවේ නුවණැස ඇති – භවත් ගෞතමයාණනි
ඔබ වෙත පැමිණ අපි – විමසා සිටිමු මෙලෙසින්
වෙයිද උපතින් බමුණකු? – ක්‍රියාවෙන් බමුණු වේ දැයි?
යම් කරුණකින් අප – බමුණු ගැන දන්නෙමු නම්
ඒ කිසිත් නොම දත් – අපට පහදා දුන මැන
(භාග්‍යවතුන් වහන්සේ)
වාසෙට්ඨයෙනි,
පිළිතුරු කියන්නෙමි මම – අනුපිළිවෙලින් ඔබ හට
ඒ ඒ සතුන්ගේ – උපතේ සැබෑ තතු
ජාති වශයෙන් වෙනස් වන හැටි
දන්නහුය ඔබ – ගස් හා තණකොළ ගැන
ඒවා කිසි දිනක – තමා ගැන නොම පවසයි
උපතින් ලද දෙයකි – ඒ ඒ ගසෙහි හැඩ රුව
වෙනස් වේ මය – ජාති වශයෙන්
කීටයන් දිගු පණුවන් – කුඩා පළගැටි කෘමියන්
උපතින් ලද දෙයකි – ඒ සතුන්ගේ හැඩරුව
වෙනස් වේ මය – ජාති වශයෙන්
දන්නහුය ඔබ – ලොකු කුඩා සිව්පා සතුන්
උපතින් ලද දෙයකි – ඒ සතුන්ගේ හැඩරුව
වෙනස් වේ මය – ජාති වශයෙන්
දන්නහුය ඔබ – උදරය පාද කරගත්
දිග පිටක් ඇති උරගයින්
උපතින් ලද දෙයකි – ඒ සතුන්ගේ හැඩරුව
වෙනස් වේ මය – ජාති වශයෙන්
දන්නහුය ඔබ – දියෙහි පීනන
ජලජ මාළුන්
උපතින් ලද දෙයකි – ඒ සතුන්ගේ හැඩරුව
වෙනස් වේ මය – ජාති වශයෙන්
දන්නහුය ඔබ – පියාපත් යානා ඇති
අහසින් යන කුරුල්ලන්
උපතින් ලද දෙයකි – ඒ සතුන්ගේ හැඩරුව
වෙනස් වේ මය – ජාති වශයෙන්
මේ ජාතීන් හට – උපතින්ම පිහිටා ඇති
සළකුණුම ඇත බොහෝ
එහෙත් මිනිසුන් අතරත
උපතින්ම පිහිටා ඇති – සළකුණු නොමැත බොහෝ
කෙස් වලද නැත වෙනසක් – නොමැත හිසෙහිද වෙනසක්
කන්වලද නැත වෙනසක් – නොමැත ඇස්වල වෙනසක්
මුඛයේද නැත වෙනසක් – නාසයේ නැත වෙනසක්
තොල්වලද නැත වෙනසක් – ඇහි බැමේ නැත වෙනසක්
බෙල්ලේද නැත වෙනසක් – උරහිසෙහි නැත වෙනසක්
උදරයේ නැත වෙනසක් – නොමැත පිටෙහිද වෙනසක්
යෝනියේ නැත වෙනසක් – නොමැත පපුවේ වෙනසක්
වැසුනු තැන්වල නොමැත වෙනසක් – නොමැත මෛථුනයේද වෙනසක්
අත්වලද නැත වෙනසක් – නොමැත පාවල වෙනසක්
ඇඟිලිවල නැත වෙනසක් – නියපොතුද නැත වෙනසක්
කෙණ්ඩාවල නැත වෙනසක් – කලවයේ නැත වෙනසක්
නොමැත පාටින් වෙනසක් – ස්වරයේද නැත වෙනසක්
වෙන සත්ව ජාති තුළ –
වෙනස්කම් උපතින්ම ලද නොමැතිමය මිනිසුන් හට
සිරුරුවල මිනිසුන් ගේ පැහැදිිළි ව දැකිය හැකි වූ
වෙනස්කම් කිසිවක් නැත
මිනිසුන් අතර පවතින –
ව්‍යවහාර වශයෙන් නම් ගොත් හඳුන්වන්නේ
මිනිසුන් අතර කිසිවෙක් – දිවි ගෙවයි නම් ගව රැකුමෙන්
මෙසේ වාසෙට්ඨ, දැනගන්න
ඔහු ගොවියෙකු මිස – බමුණෙකු නොවේ
මිනිසුන් අතර කිසිවෙක් – දිවි ගෙවයි නම් නා නා ශිල්පයෙන්
මෙසේ වාසෙට්ඨ, දැනගන්න
ඔහු ශිල්පියෙකු මිස – බමුණෙකු නොවේ
මිනිසුන් අතර කිසිවෙක් – දිවි ගෙවයි නම් වෙළඳාමෙන්
මෙසේ වාසෙට්ඨ, දැනගන්න
ඔහු වෙළෙන්දෙකු මිස – බමුණෙකු නොවේ
මිනිසුන් අතර කිසිවෙක් – දිවි ගෙවයි නම් බැල මෙහෙවරින්
මෙසේ වාසෙට්ඨ, දැනගන්න
ඔහු දාසයෙකු මිස – බමුණෙකු නොවේ
මිනිසුන් අතර කිසිවෙක් – දිවි ගෙවයි නම් සොරකමින්
මෙසේ වාසෙට්ඨ, දැනගන්න
ඔහු සොරෙක් මිස – බමුණෙකු නොවේ
මිනිසුන් අතර කිසිවෙක් – දිවි ගෙවයි නම් අවි ආයුධෙන්
මෙසේ වාසෙට්ඨ, දැනගන්න
ඔහු යුධ ශිල්පියෙක් මිස – බමුණෙක් නොවේ
මිනිසුන් අතර කිසිවෙක් – දිවි ගෙවයි නම් උපදේශයෙන්
මෙසේ වාසෙට්ඨ, දැනගන්න
ඔහු පුරෝහිතයෙක් මිස – බමුණෙක් නොවේ
මිනිසුන් අතර කිසිවෙක් – දිවි ගෙවයි නම් ගම රට තුළින්
මෙසේ වාසෙට්ඨ, දැනගන්න
ඔහු රජෙක් මිස – බමුණෙක් නොවේ
නොම කියමි මම “බමුණු” වන බව
කෙනෙකු මව් කුස උපන් පමණින්
“භවත” ආදී නමින් කියුවද
සැබැවින්ම හේ කෙලෙස් සහිතය
සිඳ හළ සියළු බන්ධන – නොමැති වූ කිසිදු කම්පන
ඉක්ම ගිය කෙළෙසුන්ගෙන් – එක් නොවන ඒ කිසිවක
යම් කෙනෙක් වේ නම් ලොව – කියමි මම ඔහු “බමුණු” යයි
සිඳ දමා ක්‍රෝධය – සිඳ දමා සසර වරපට
සිඳ දමා හැම මිසදිටු – මෝහ මුළ උදුරා හළ
බුද්ධ නම් වූ හේ – කියමි මම “බමුණු” යයි
නොකිපෙන සිතින් යුතු – ක්‍රෝධ නැති, වධ බැඳුම් ඉවසන
ඉවසීම බලය කරගත් – ඉවසන බලය දැඩි වූ
යම් කෙනෙක් වේ නම් ලොව – කියමි මම ඔහු “බමුණු” යයි
ක්‍රෝධ සිතිවිළි නැති – මනා වත පිළිවෙත ඇති
රකින සිල් ගුණ ඇති – ඇවිස්සෙන කෙළෙසුන් නැති
ඉඳුරන්ද දමනය කළ – අන්තිම සිරුරු ඇති
යම් කෙනෙක් වේ නම් ලොව – මම කියමි ඔහු “බමුණු” යයි
පියුම් පත නොරැඳෙන – දිය බිඳුවක් විලසින
හිඳි කටු තුඩින් ගිලිහෙන – අබ ඇටය විලසින
කිසි කාම ගුණයක – තමාගේ සිත නොරැඳෙන
යම් කෙනෙක් වේ නම් ලොව – මම කියමි ඔහු “බමුණු” යයි
තමාගේ සසර දුක – මෙහිම අවසන් වන බව
දනී නම් මැනැවින් යමෙක්
කෙළෙස් බර බැහැර කළ – එක් නොවුන ඒ කිසිවක
ඒ කෙනා ගැන මම – හඳුන්වා දෙමි “බමුණු” යන නම
තියුණු නුවණින් යුතු – දක්ෂ වූ මග හා නොමග ගැන
ලොව උතුම් අරුතට – සපැමිණි යමෙක් වේ නම්
ඒ කෙනා ගැන මම – හඳුන්වා දෙමි “බමුණු” යන නම
ගිහි හා පැවිදි යන – දෙපිරිසෙහි කිසිවිටක නොගැළුණ
තණ්හා නැතිව හැසිරෙන – සුළු දෙයකින්ද තුටු වන
යම් කෙනෙක් වේ නම් ලොව – කියමි මම ඔහු “බමුණු” යයි
තැති ගත් තැති නොගත් – හැම සතුන් කෙරෙහිම
දඬු මුගුරු බැහැර කළ – කිසි ප්‍රාණියෙකු නො නසන
කිසිවෙකු ලවා නොමරවන – යම් කෙනෙක් වේ නම් ලොව
කියමි මම ඔහු “බමුණු” යයි
කෝප වන පිරිස අතරේ – කිසි කෝපයක් නැතිව සිටිනා
දඬු මුඟුරු ගෙන තමාහට – පහර දෙන ජනතාව අතරේ
නිවුන සිත් ඇතිව සිටිනා
ලොවම අල්ලා ගෙන – එහිම ලැග සිටිනවුන් අතරේ
කිසිත් අල්ලා නොගෙන සිටිනා –
යම් කෙනෙක් වේ නම් ලොව – මම කියමි ඔහු “බමුණු” යයි
හිඳි කටු තුඩින් ගිළිහී – බිම වැටෙන අබ ඇටය විලසින්
ආශාව හා තරහද – මානයත් ගුණමකු බවත්
සිතින් ගිලිහී ගිය – යම් කෙනෙක් වේ නම් ලොව
කියමි මම ඔහු “බමුණු” යයි
කටුක වදනින් තොර – හොඳින් තේරුම් කරදෙන
මිහිරි වූ සත්‍ය වූ – විරාගී බස් පවසන
යම් කෙනෙක් වේ නම් ලොව – කියමි මම ඔහු “බමුණු” යයි
දිගින් හෝ කෙටියෙන් යුතු – කුඩා වූ හෝ ලොකු හෝ
සුභ හෝ අසුභ හෝ – තමා හට නොදුන් කිසිවක්
නොගන්නා යම් කෙනෙක් වේ නම්
කියමි මම ඔහු “බමුණු” යයි
මෙලොව හෝ පරලොව – කිසිවකට ආශා නැති
බැඳීමෙන් තණ්හාවෙන් – සියල්ලෙන් නිදහස් වූ
යම් කෙනෙක් වේ නම් ලොව
කියමි මම ඔහු “බමුණු” යයි
යමෙකුගේ සිත තුළ – කිසි බැඳීමක් නොමැතිද
සදහම්ද දැනගෙන – එහි කිසිම සැකයක් නැති
අමා නිවනට සපැමිණි – යම් කෙනෙක් වේ නම් ලොව
කියමි මම ඔහු “බමුණු” යයි
යමෙක් මෙහි පින් පව් – වලින් යුතු හැම කෙළෙසුන්
ඉක්ම ගොස් ශෝක රහිතව – පිරිසිදුව රජස් රහිතව
සිටී නම් ලොව – කියමි මම ඔහු “බමුණු” යයි
දූවිලි රහිත වූ සුපිරිසිදු අහසේ – දිළෙන පුන් සඳ විලසේ
නොකැළඹී ගිය පහන් සිත් ඇති
නැසුණු භව තණ්හා ඇති
යම් කෙනෙක් වේ නම් ලොව –
මම කියමි ඔහු “බමුණු” යයි
කෙලෙස් පීඩා පිරුණු මාවත – මෝහ පටලෙන් වැසුණු සසරද
ඉක්ම ගොස් එතෙරට වී – පරතෙර වෙතට සපැමිණි
දැහැන් වඩනා නොමැති තණ්හා – සැක කිසිත් නැති
අල්ලා නොගෙන කිසිවක් – සදහටම නිවී ගිය
යම් කෙනෙක් වේ නම් ලොව
කියමි මම ඔහු “බමුණු” යයි
කාමයන් බැහැර කොට – පැවිදි වී බුදු සසුනේ
කාම භව හැම ගෙවා දමමින් – සැනසිලි සිතින් හැසිරෙන
යම් කෙනෙක් වේ නම් ලොව – මම කියමි ඔහු “බමුණු” යයි
තණ්හාව බැහැර කොට – පැවිදි වී බුදු සසුනේ
තණ්හා භවය ගෙවා දමමින් – සැනසිලි සිතින් හැසිරෙන
යම් කෙනෙක් වේ නම් ලොව – මම කියමි ඔහු “බමුණු” යයි
මිනිස් ගති හා එක්වන – දිව්‍ය ගති හා එක්වන
සියල්ලම ඉක්ම ගිය – සිය`ඵ ගතියෙන් වෙන් වුණ
යම් කෙනෙක් වේ නම් ලොව – මම කියමි ඔහු “බමුණු” යයි
කාමයෙහි ඇල්ම දුරුකොට – භාවනාවේ නොඇල්ම දුරුකොට
සකෙලෙස් කර්ම නැතිකොට – සිහිල් වී ගිය සිතින් යුතු වූ
සියළු ලොව මැඩලූ – වීර්යවන්ත වූ
යම් කෙනෙක් වේ නම් ලොව – මම කියමි ඔහු “බමුණු” යයි
සතුන්ගේ චුතිය හා උපත ලබනා අයුරුද
දැනගෙන හැම ලෙසින් – ඒ කිසිවකට නොඇලී
සුන්දර නිවන වෙත පත් – බුද්ධ යයි කියන ලද
යම් කෙනෙක් වේ නම් ලොව – මම කියමි ඔහු “බමුණු” යයි
යම් කෙනෙක් මේ ලොව – පිරිනිවන් පෑව විට
යළි උපදින තැනක් – දෙව් මිනිස් ගාන්ධර්ව වූ
කිසිවෙකුට දැක්ක නොහැකිද
අන්න ඒ නිකෙලෙස් – අරහත් මුනිඳු ගැන
හඳුන්වා දෙමි “බමුණු” යන නම
අතීතය කෙරෙහි හෝ – අනාගතයෙහි හෝ
පවතින වත්මනේ හෝ – නොමැති නම් කිසි බැඳීමක්
කෙලෙසුන් කිසිත් නැති – ඇල්ලූ කිසිවකුත් නැති
යම් කෙනෙක් වේ නම් ලොව
කියමි මම ඔහු “බමුණු” යයි
සැබෑ මිනිසෙක් වූ – උත්තම වීරයෙක් වූ
මහා ඉසිවරයෙක් වූ – මාර සේනා ජයගත්
තණ්හා නොමැති වූ – සියළු පව් සෝදා හළ
ජීවිතය අවබෝධ කළ – යම් කෙනෙක් වේ නම් ලොව
කියමි මම ඔහු “බමුණු” යයි
ගෙවූ හැටි පෙර භවයද – සුගතිය හා අපායද
දැනගෙන මනාකොට – සසරේ උපත නිම කළ
නිවන් සුව වෙත සපැමිණි – යම් කෙනෙක් වේ නම් ලොව
කියමි මම ඔහු “බමුණු” යයි
නම් ගොත් වලින් පැවසුම – ලොවේ ඇති සම්මුතියෙකි
ඒ ඒ ක්‍රියාවෙන් – භාවිත වේය නම්ගොත්
ලොවේ සම්මුතියක් බව – නොදැනගත් මතයෙකින් යුතු
බොහො කලක් මුළුල්ලේ – කිසිත් මේ ගැන නොදැනම
පවසත්ය සමහරුන් – උපතින් ‘බමුණු’ වේ යයි
නොවේ උපතින් බමුණෙක් – නොවේ උපතින් නොබමුණෙක්
ක්‍රියාවෙන් බමුණෙක් වේ – ක්‍රියාවෙනි නොබමුණුද වන්නේ
ක්‍රියාවෙන් ගොවියෙක් වේ – ක්‍රියාවෙන් ශිල්පියෙක් වේ
ක්‍රියාවෙන් වෙළෙන්දෙක් වේ – ක්‍රියාවෙන් දාසයෙක් වේ
ක්‍රියාවෙන් සොරෙක් වේ – ක්‍රියාවෙන් යුධ ශිල්පියෙක් වේ
ක්‍රියාවෙන් පුරෝහිතයෙක් වේ – ක්‍රියාවෙන් රජෙක් වේ
හේතූන් නිසා සැකසුන – කර්මත් විපාකත් ගැන
දැනීමෙහි දක්ෂ වූ – නුවණින් සපිරි උතුමෝ
කර්ම ගැන මේ අයුරින් – සැබෑ තතු දකිත්මය
කර්මයෙන් ලොව පවතී – කර්මයෙන් පවතී ප්‍රජාවද
කර්මයට බැඳුණු ලෝ සත
ගමන් යන රථ රෝදයේ සිරවුනු ඇණය බඳු වේ.
තපසින් බඹසරින් – දමනයෙන් සංයමයෙන්
බමුණෙකු බවට පත් වේ – මොහුය උත්තම බමුණු වන්නේ
වාසෙට්ඨ දැන ගන්න මෙලෙසින්
ත්‍රිවිද්‍යාව ලැබ ගත් – ශාන්ත බවට පත් වූ
යළි කිසිදු භවයක් – නොමැති ඒ මුනිවරයා
බඹුහු ය, සක් දෙවිඳු යයි – නැණැතියන් දකිත්මය
(ත්‍රිවිද්‍යාව :- 1. තමන්ගේ පූර්ව ජීවිත තමා තුළින් ම දැක ගැනීමේ හැකියාව, 2. අනුන්ගේ ජීවිත සසරේ සැකසෙන අයුරු දැකීමේ හැකියාව, 3. උපත සකසන සියළු කෙලෙසුන් ගෙන් තමා මිදී සිටින බව දත් ඤාණය)
මෙසේ වදාළ කල්හි වාසෙට්ඨ – භාරද්වාජ තරුණයෝ භාග්‍යවතුන් වහන්සේට මෙලෙසින් පැවසූහ.
“භවත් ගෞතමයන් වහන්ස, ….(පෙ)…. ඒ අපි ස්වාමීනී භවත් ගෞතමයන් වහන්සේවද, ශ්‍රී සද්ධර්මයද, ශ්‍රාවක භික්ෂු පිරිසද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් අප තෙරුවන් සරණ ගිය උපාසකවරු වශයෙන් පිළිගන්නා සේක්වා…!
වාසෙට්ඨ නිසා වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M