ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

8. සල්ල සුත්තං

8. සෝක හුල ගැන වදාළ දෙසුම

577. අනිමිත්තමනඤ්ඤාතං – මච්චානං ඉධ ජීවිතං
කසිරඤ්ච පරිත්තඤ්ච – තඤ්ච දුක්ඛේන සඤ්ඤුතං

ගතවෙන ජීවිතය මෙහි මිනිසුන් ගෙවන
දැක ගත නොහැක මරණය අත වනන තැන
දුක් කරදර මැදින් සුළු සතුටක් ලැබෙන
දිවියද ගෙවාලිය යුත්තේමය දුකින

578. නහි සෝ උපක්කමෝ අත්ථි -යේන ජාතා න මීයරේ
ජරම්පි පත්‍වා මරණං – ඒවංධම්මා හි පාණිනෝ

යොදමින් උපායක් නොමැරී සිටින්නට
නොහැකිය නැත උපා එලෙසින් දකින්නට
දිරමින් සකස් වෙයි මරු වෙතම යන්නට
ලෝ දහමක්ය මෙය ඉපදුන සතුන් හට

579. ඵලානමිව පක්කානං – පාතෝ පතනතෝ භයං
ඒවං ජාතානමච්චානං – නිච්චං මරණතෝ භයං

හිමිදිරි උදෑසන ගිළිහී බිම වැටෙනා
බියමය පවතින්නෙ රුක් ඵලයට ඉදෙනා
එලෙසින් සැමදෙනා මෙහි ඉපදී සිටිනා
පෙළෙමින් සිටිති බියකින් මරණය ගෙනෙනා

580. යථාපි කුම්භකාරස්ස – කතා මත්තිකභාජනා
සබ්බේ භේදනපරියන්තා – ඒවං මච්චාන ජීවිතං

කුඹලෙකු ඔප දමා තැනු මැටි බඳුන් හැම
බිඳෙමින් නිමා වී ඒ හැම වැටෙයි බිම
මෙලෙසින් ලොවේ ඉපදුන මිනිසුන්ද හැම
මරණය කරා යති කර මැටි බඳුන් සම

581. දහරා ච මහන්තා ච – යේ බාලා යේ ච පණ්ඩිතා
සබ්බේ මච්චුවසං යන්ති – සබ්බේ මච්චුපරායනා

දරුවන් මහළු අය හා යහපත් අයද
ගති ගුණ නරක උදවිය හා හැම දෙනද
මරණය නැමැති දේ වසඟෙට යති නිබඳ
මරණය තුළින් නිමවී යයි සැම දෙයද

582. තේසං මච්චුපරේතානං – ගච්ඡතං පරලෝකතෝ
න පිතා තායතේ පුත්තං – ඤාතී වා පන ඤාතකේ

මැඬෙමින් මරණයෙන් පරලොව යන කලට
තම පුතු වළකන්ට නොහැකිය පියෙකු හට
නෑයෙක් දිවි ගෙවා යන විට මරණයට
නොහැකිය වළකන්ට එය ඤාතියෙකු හට

583. පෙක්ඛතං යේව ඤාතීනං – පස්ස ලාලපතං පුථු
ඒකමේකෝ ව මච්චානං – ගෝවජ්ඣෝ විය නීයති

එක එක ගවයාව කැඳවා මරණයට
ගවයන් මරන්නා උන් ගෙන යයි යසට
එලෙසම නෑසියන් වැළපෙන හඬන විට
කැඳවන හැටි බලව, එකිනෙක මරණයට

584. ඒවමබ්භාහතෝ ලෝකෝ – මච්චුනා ච ජරාය ච
තස්මා ධීරා න සෝචන්ති – විදිත්වා ලෝකපරියායං

වැටෙමින් ජරා මරණෙට නොසිතූ විලසේ
මැඬෙමින් පෙළෙති ලෝ සත හැම විට දුකසේ
දකිමින් නැණැති උතුමන් ලෝ දම මෙලෙසේ
නිතියෙන් සෝක නොකරත්මය කිසි විලසේ

585. යස්ස මග්ගං න ජානාසි – ආගතස්ස ගතස්ස වා
උභෝ අන්තේ අසම්පස්සං – නිරත්ථං පරිදේවසි

මව් කුස වෙත පැමිණි අයුරුද ඔහු නොදනී
මෙතැනින් මැරුණ පසු යන තැන ගැන නොදනී
මේ දෙක ගැනම නොම දන්නා කෙනා ලොවේ
මේ ගැන වැළපෙන්නෙ අරුතක් ඇතිව නොවේ

586. පරිදේවයමානෝ චේ – කඤ්චි අත්ථං උදබ්බහේ
සම්මූළ්හෝ හිංසමත්තානං – කයිරා වේනං විචක්ඛණෝ

හඬමින් වැළපෙමින් සිටිනා කෙනෙකු හට
යම්කිසි සෙතක් සැලසෙයි නම් හඬන විට
නුවණැත්තා පවා සිහියද මුලා කොට
පෙළෙමින් තමාවද යොමුවෙයි ඒ දෙයට

587. නහි රුන්නේන සෝකේන – සන්තිං පප්පෝති චේතසෝ
භිය්‍යස්සුප්පජ්ජතේ දුක්ඛං – සරීරං උපහඤ්ඤති

හඬමින් සෝක වන විට කෙනෙකුගේ සිත
කිසිවිට සහන් සුවයක් ඒ සිතේ නැත
බොහො දුක් ගොඩක් ඔහු තුළ හට ගනු නියත
ඇඟපත පවා තැලී පොඩිවී පෙළෙනු ඇත

588. කිසෝ විවණ්ණෝ භවති – හිංසමත්තානමත්තනා
න තේන පේතා පාලෙන්ති – නිරත්ථා පරිදේවනා

ඇඟපත දිරාගොස් පෙනුමද නසාගෙන
තම හට තමා මෙලෙසට දුක හදාගෙන
හැඬුමෙන් කිසිදිනක මළවුන් නොඑත්මය
මෙලෙසින් වැළපීම හරසුන් දෙයක්මය

589. සෝකමප්පජහං ජන්තු – භීය්‍යෝ දුක්ඛං නිගච්ඡති
අනුත්ථුනන්තෝ කාලකතං – සෝකස්ස වසමන්වගු

සෝකය අත් නොහැර බොහෝ දුක රැස් කරනා
නිතරම සිත සිතා මළවුන් ගැන තැවෙනා්‍
කෙනෙකුන් ගත කරයි නම් දිවි මේ ලෙසිනා
සෝකය වෙතම යනු ඇත හෙතෙමේ නිතිනා

590. අඤ්ඤේපි පස්ස ගමිනේ – යථාකම්මූපගේ නරේ
මච්චුනෝ වසමාගම්ම – ඵන්දන්තේ විධ පාණිනෝ

බියවී සැළෙයි තැතිගෙන මරු පැමිණි විට
මෙලොවදි තමා කළ දෙය ගෙන පොදියකට
විඳුමට ඒ අනුව ගොස් යළි පරලොවට
යන හැටි බලව, ලෝ සත මේ දුක දෙසට

591. යේන යේන හි මඤ්ඤන්ති – තතෝ තං හෝති අඤ්ඤථා
ඒතාදිසෝ විනාභාවෝ – පස්ස ලෝකස්ස පරියායං

සිටියද සිතා ගෙන ඒ ඒ දෙය යසට
සිදුවන්නේම වෙනෙකකි නොසිතූ ලෙසට
පවතී වෙනස් වීමම මේ විලසකට
දැන ගත යුතුය මෙය ලෝ දහමක් ලෙසට

592. අපි චේ වස්සසතං ජීවේ – භීයෝ වා පන මානවෝ
ඤාතිසංඝා විනා හෝති – ජානාති ඉධ ජීවිතං

ගෙවනා විට යමෙක් මේ ජීවිතය පුරා
සිය වසරකින් හෝ වැඩිපුර ටිකක් දරා
නෑ සිය මිතුරු හැර ඔහු තනි දිවිය කරා
යන්නට සිදුවේය මේ දිවි තිබෙන තුරා

593. තස්මා අරහතෝ සුත්වා – විනෙය්‍ය පරිදේවිතං
පේතං කාලකතං දිස්වා – න සෝ ලබ්භා මයා ඉති

දුටු විට කෙනෙක් මළවුන් අතරට යාම
යළි මට නොලැබේය මොහු දැක සැනසීම
දුරු කර ගනු පිණිස මේ ගැන වැළපීම
අසමින් දත යුතුය රහතුන්ගේ දහම

594. යථා සරණමාදිත්තං – වාරිනා පරිනිබ්බුතෝ
ඒවම්පි ධීරෝ සප්පඤ්ඤෝ – පණ්ඩිතෝ කුසලෝ නරෝ
ඛිප්පමුප්පපතිතං සෝකං – වාතෝ තූලංව ඩංසයේ

ගිනි ගත් ගෙයක් ජලයෙන් නිවනා විලසේ
නුවණැති වෙර වඩන නිති, මිනිසා මෙලෙසේ
දුරු කර දමයි සිත ශෝකය දැන සොඳසේ
පුළුනක් පිඹ හරින මහ සුළඟක් විලසේ

595. පරිදේවං පජප්පඤ්ච – දෝමනස්සඤ්ච අත්තනෝ
අත්තනෝ සුඛමේසානෝ – අබ්බහේ සල්ලමත්තනෝ

තම සැනසීම සොයනා මිනිසා මෙලොවේ
වැළපුම ආශාව දුක දුරු කළ යුතුවේ
දිවිමග සැපත වනසන විපතද මෙයවේ
දැනගෙන සෝක හුල උදුරාලිය යුතු වේ

596. අබ්බුළ්හසල්ලෝ අසිතෝ – සන්තිං පප්පුය්‍ය චේතසෝ
සබ්බසෝකං අතික්කන්තෝ – අසෝකෝ හෝති නිබ්බුතෝති

උදුරා සෝක හුල තණ්හාවෙන් තොර වී
සැනසුම ලබා ගත් විට දුක යයි දුරුවී
සෝකය නොමැති වී සැනසිලි සුව මතුවී
යයි ඒ තැනැත්තා පිරිනිවනට යොමු වී

සල්ල සුත්තං නිට්ඨිතං.

සෝක හුල ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M