මා විසින් අසා දැනගන්නා ලද්දේ මෙසේය.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ එක්දහස් දෙසිය පනහක් වූ මහත් භික්ෂු පිරිසක් සමඟ “අංගුත්තරාප” නම් ජනපද ග්‍රාමයන්හි චාරිකාවේ වඩින අතරේ අංගුත්තරාපයින් ගේ “ආපණ” නම් කුඩා නගරයේ කල්ගත කළ සේක. එහි දී “කේණිය” නම් වූ ජටාධර තවුසෙක් මේ ආරංචිය ඇසුවේය.
ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ, ගෞතම නම් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් අංගුත්තරාප ජනපද ග්‍රාමයන්හි චාරිකාවේ වඩින අතරේ අංගුත්තරාපයින්ගේ ආපණ නම් වූ කුඩා නගරයට එක් දහස් දෙසිය පනහක මහත් භික්ෂු පිරිසක් සමඟ වැඩම කොට සිටිති. ඒ භවත් ගෞතමයන් පිළිබඳව මේ ආකාර වූ ඉතා සුන්දර කීර්ති ඝෝෂාවක් දසත පැන නැංගේය.
ඒ භගවතාණෝ මේ මේ කරුණු නිසා කෙලෙස් රහිත වූ කෙනෙකි (අරහං). ගුරු උපදේශ රහිතව ජීවිතයේ සැබෑ තතු අවබෝධ කළ කෙනෙකි (සම්මා සම්බුද්ධ). සුවිශේෂ ඤාණයෙකින් හා හැසිරීමෙකින් යුතු කෙනෙකි (විජ්ජාචරණ සම්පන්න). සොඳුරු පිළිවෙතක ගමන් කළ කෙනෙකි (සුගත). සියළුලෝකයන් ගැනම හොඳින් දන්නා කෙනෙකි (ලෝකවිදූ). ලෝ සතුන් දමනය කොට දහමේ යොදවන්ට අතිශයින්ම සමර්ථ කෙනෙකි (අනුත්තර පුරිසදම්ම සාරථී). දෙව් මිනිසුන්ගේ එකම අනුශාසකවරයාණන්ය (සත්ථා දේව මනුස්සානං). අවබෝධ කළ දේ මනාලෙස පෙන්වා දෙන කෙනෙකි (බුද්ධ). සියළු භාග්‍යයෙන් පිරිපුන්ය (භගවා) යි.
“ඒ භගවතාණෝ, දෙවියන් බඹුන් මරුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය ස්වකීය සුවිශේෂ නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධකොට ලොවට හෙළි කරත්. එතුමන් දේශනා කරන්නේ මුල, මැද, අග මනා ගැළපීමෙකින් යුතු ඉතා පිරිසිදු වූ, අර්ථවත් වූ, පැහැදිලි වචනවලින් යුතු වූ, මු`ඵමණින්ම පිරිපුන් පිවිතුරු ජීවිතයක් ගැන කියවෙන දහමකි. එබඳු රහතුන් දැක ගන්ට ලැබීම පවා කොතරම් හොඳදැ’යි.
ඉක්බිති කේණිය ජටාධර තවුසා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. පිළිසඳර කතාබහ අවසන්කොට එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හුන් කේණිය ජටාධර තවුසාට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය වදාළ සේක. මැනවින් පෙන්වා දී, මැනවින් වටහා දී, සිත පිනා යන අයුරින් ම වටහා දුන් සේක.
භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රී සද්ධර්මය පහදා දෙන ලද, මැනවින් පෙන්වා වටහා දෙන ලද, සිත පිනා යන අයුරින්ම වටහා දෙන ලද ජටාධර තවුස් කේණිය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.
“භවත් ගෞතමයන් වහන්ස, භික්ෂු පිරිසද සමඟින් හෙට දවසේ මාගේ දානය පිළිගන්නා සේක්වා…! යි”.
මෙසේ පැවසූ කේණිය ජටාධර තවුසාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පින්වත් කේණිය, භික්ෂු පිරිස මහත්ය. භික්ෂූන් එක්දහස් දෙසියපනහකි. ඇරත් ඔබද බ්‍රාහ්මණයන් අතර බලවත් ප්‍රසාදයට පත් වූ කෙනෙකි” යි.
දෙවෙනි වරද ජටාධර තවුස් කේණිය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.
“භවත් ගෞතමයන් වහන්ස, කිම? මේ භික්ෂු පිරිස මහත් වුවද, භික්ෂූන් එක්දහස් දෙසිය පනහක් නමුදු, මම්ද බ්‍රාහ්මණයන් අතර බලවත් ප්‍රසාදයට පත් වූ කෙනෙක් නමුදු, හෙට දවසේ මාගේ දානය භික්ෂු පිරිස සමගින් භවත් ගෞතමයන් වහන්සේ පිළිගන්නා සේක්වා!”
දෙවන වතාවේද භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටාධර තවුසාට මෙය වදාළ සේක.
“පින්වත් කේණිය, භික්ෂු පිරිස මහත්ය. භික්ෂූන් එක්දහස් දෙසියපනහකි. ඇරත් ඔබද බ්‍රාහ්මණයන් අතර බලවත් ප්‍රසාදයට පත් වූ කෙනෙකි.”
තුන්වන වතාවේද ජටාධර තවුස් කේණිය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.
“භවත් ගෞතමයන් වහන්ස, කිම? මේ භික්ෂු පිරිස මහත් වුවද, භික්ෂූන් එක්දහස් දෙසිය පනහක් නමුදු, මම්ද බ්‍රාහ්මණයන් අතර බලවත් ප්‍රසාදයට පත් වූ කෙනෙක් නමුදු, හෙට දවසේ මාගේ දානය භික්ෂු පිරිස සමගින් භවත් ගෞතමයන් වහන්සේ පිළිගන්නා සේක්වා!”
භාග්‍යවතුන් වහන්සේ නිහඬව ඉවසීමෙන් ඒ ඇරයුම පිළිගත් සේක.
ඉක්බිති කේණිය ජටාධර තවුස් තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඒ ඇරයුම පිළිගත් බව දැන හුනස්නෙන් නැගිට සිය අසපුව කරා ගියේය. ගොස් යහළු මිත්‍රයන්ටද, සහලේ නෑයින්ටද ඇමතීය.
“භවත් යහළු මිත්‍රයෙනි, සහලේ නෑයිනි, මාගේ වචනය අසන්න. මා විසින් භික්ෂු පිරිසෙකින් යුතු ශ්‍රමණ ගෞතමයන් වහන්සේට හෙට දානය පිණිස ඇරයුම් කරන ලද්දාහුය. එහෙයින් මා හට ශ්‍රමයෙන් උදව් කළ මැනව”යි.”
“භවත එසේය” යි ජටාධර කේණිය තවුසා ගේ යහ`ඵ මිත්‍රයෝද, සහලේ නෑයෝද, ජටාධර කේණිය තවුසාට පිළිතුරු දී ඇතැමෙක් ගිනි උදුන් වළ කණිත්. ඇතැමෙක් ලිප් බඳිත්. ඇතැමෙක් දර පලත්. ඇතැමෙක් භාජන සෝදත්. ඇතැමෙක් අසුන් පණවත්. ජටාධර කේණිය තවුස් තෙමේ ම භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු පිරිස වැඩ හිඳින මණ්ඩපය පිලියෙළ කරයි.
එ සමයෙහි ඉතිහාසය පස්වෙනි කොට, පූජකත්වය පිණිස පවතින සිරිත් විරිත් ඇතුළු භාෂා ශාස්ත්‍රයෙන් යුතු, ත්‍රිවේදයෙහි නිපුණ බවට පත්ව, පද හා ව්‍යාකරණද දත්, ලෝක විද්‍යා මෙන්ම, මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය ගැනද අතිශයින් දක්ෂ වූ සේල නම් බ්‍රාහ්මණයෙක් තුන් සියයක් වූ තම තරුණ ශිෂ්‍යයන් ට වේදමන්ත්‍ර උගන්වයි. එකල ජටාධර කේණිය තවුසා කෙරෙහි සේල බ්‍රාහ්මණයා සිටියේ බලවත් ප්‍රසාදයකිනි.
එකල්හි තුන් සියයක් තරුණ සිසුන් පිරිවරාගත් සේල බ්‍රාහ්මණ තෙමේ ව්‍යායාම පිණිස ඇවිදිමින් ජටාධර කේණිය තවුසාගේ අසපුවට පැමිණියේය. ජටාධර කේණිය තවුසාගේ අසපුවේ ඇතැමෙක් ගිනි උදුන් වළ කණිනුද…. ඇතැමෙක් අසුන් පණවනුද, ජටාධර කේණිය තවුසා තෙමේ ම වැඩ හිඳින මණ්ඩපය පිළියෙල කරනු සේල බ්‍රාහ්මණයා දුටුවේය. දැක ජටාධර කේණිය තවුසාට මෙසේ පැවසීය.
“කිම? භවත් කේණියගේ ආවාහයෙක් හෝ වන්නේද? විවාහයෙක් හෝ වන්නේද? මහා යාගයක් හෝ සකස් වූයේද? සේනා බලකාය සහිතව මගධයේ සේනිය බිම්බිසාර නිරිඳුන් හෙට බොජුන් පිණිස ඇරයුම් කරණ ලද්දේ වේදැ?”යි.
“පින්වත් සේලයෙනි, මාගේ ආවාහයෙක්ද නැත. විවාහයෙක්ද නැත. සේනා බලකාය සහිතව මගධයේ සේනිය බිම්බිසාර නිරිඳුන්ට හෙට බොජුන් පිණිස ඇරයුම් කරණ ලද්දේ නොවේ. එසේ නමුත් මාගේ මහා යාගයක් පිළියෙල වී ඇත. ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ, ගෞතම ශ්‍රමණයන් වහන්සේ අංගුත්තරාප ජනපද ග්‍රාමයන්හි චාරිකාවේ වඩින අතරේ එක් දහස් දෙසිය පනහකින් යුතු භික්ෂු පිරිසක්ද කැටුව ආපණයට වැඩම කර සිටිති. ඒ භවත් ගෞතමයන්ගේ මේ ආකාර වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් උස්ව පැන නැංගේ වේ… බුද්ධ වේ. භගවත් වේ’ යයි. උන්වහන්සේ භික්ෂු පිරිස සමඟ හෙට දානය පිණිස මා විසින් ඇරයුම් කරන ලද්දාහුය.
“භවත් කේණිය, හේ බුද්ධත්වයට පත් වූ කෙනෙක් කියා ද කියන්නේ?”
“භවත් සේල, (එසේය) එතුමා බුද්ධත්වයට පත් වූ කෙනෙක් යයි කියමි.”
“භවත් කේණිය, හේ බුද්ධත්වයට පත් වූ කෙනෙක් කියා ද කියන්නේ?”
“භවත් සේල, (එසේය) එතුමා බුද්ධත්වයට පත් වූ කෙනෙක් යයි කියමි.”
එවිට සේල බ්‍රාහ්මණයා හට මේ අදහස ඇති විය.
“බුද්ධත්වයට පත් වූ කෙනෙක්” පිළිබඳව මේ කථාව, මේ උස්ව හඬ නැගුණු කියමන පවා ලෝකයෙහි දුර්ලභ වේ. අපගේ වේද ග්‍රන්ථ වල මහා පුරිස ලක්ෂණ තිස් දෙකක් ගැන සඳහන් වේ. ඒ ලක්ෂණවලින් යුතු මහා පුරුෂයෙකු හට තිබෙන්නේ ගති දෙකක් පමණි. වෙන ගතියෙක් නැත.
(ඉදින් හේ ගිහි ගෙයි වසන්නේ නම් මාණික්‍යයන් සතක්ද ලබාගෙන රට රාජ්‍යවල අනුශාසක බවට පත්ව සිව්මහ සමුදුර සීමාකොට ඇති මෙලොව ජයගත් ධර්මරාජ වූ ධාර්මික සක්විති රජ බවට පත් වේ. ඔහුගේ මාණික්‍ය සත මේවාය.)
01. කරකැවෙමින් ඇවිද යන සක්විති මැණික
02. හස්ති මැණික
03. අශ්ව මැණික
04. රත්න මැණික
05. ස්ත්‍රී මැණික
06. ගෘහපති මැණික
07. උපදේශක මැණික
ඔහු හට බාහිර සතුරු සේනා මැඩලීමෙහි දක්ෂ වූ දහසකට වැඩි සූර වීර වූ පුත්‍රයෝ වෙත්. හෙතෙම සාගරය සීමා කොට ඇති මේ පොළොව දඬු මුගුරුවලින් තොරව, අවි ආයුධවලින් තොරව අර්ථයෙන් ධර්මයෙන් ජයගෙන වාසය කරයි.
ඉදින් හේ ගිහි ගෙදරින් නික්ම අනගාරිකව පැවිදි ජීවිතයකට පත් වන්නේ නම්, මෝහ පටලය ඉවත්කොට ගුරුඋපදේශ රහිතව සම්මා සම්බුද්ධත්වයට පත් ව අරහත්වයට පත් වේ’යි.
“භවත් කේණිය, අරහත් වූ, සම්මා සම්බුදු වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ දැන් වැඩ සිටින්නේ කොහිද?”
මෙසේ ඇසූ කල ජටාධර කේණිය තවුසා දකුණු අත දිගු කොට සේල බ්‍රාහ්මණයා හට මෙසේ පැවසීය.
“භවත, අන්න! අර පෙනෙන නිල් වන පියසේය” (උන්වහන්සේ වැඩ සිටින්නේ)
ඉක්බිති සේල බ්‍රාහ්මණ තෙමේ තුන්සියයක් වූ තරුණ ශිෂ්‍යයන්ද කැටුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එහිදී සේල බ්‍රාහ්මණ තම සිසු පිරිස ඇමතීය.
“භවත්නි, හෙමිහිට පියවර තබමින් නිශ්ශබ්දව ය පැමිණිය යුත්තේ. ඒ භාග්‍යවතුන් වහන්සේලා වනාහි හුදෙකලාවේ වසන සිංහ රාජයන් බඳු හෙයින් සමීප වීම පහසු නැත. භවත්නි, මා ශ්‍රමණ ගෞතමයන් සමඟ කථා කරමින් සිටින කාලයේදී භවත්හු මාගේ කතාවට බාධක වන අතුරු කතා නොදැමිය යුතුය. භවත්හු මාගේ කතාව අවසන් වන තුරු සිටිත්වා!”යි.
ඉක්බිති සේල බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. පිළිසඳර කතාබහ අවසන්කොට එක් පසෙකින් හිඳ ගත්තේය. එක් පසෙකින් හුන් සේල බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි තිස් දෙකක් වූ මහා පුරිස ලක්ෂණ සොයන්නට විය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි ලකුණු දෙකක් හැර මහා පුරිස් ලකුණු බොහෝ සෙයින් හඳුනා ගත් සේල බ්‍රාහ්මණ තෙමේ ඒ මහා පුරිස් ලකුණු දෙක කෙරෙහි සැක කරන්නට විය. එහි සිත නොබැස ගත්තේ විය. එහි නොපහදින්නේ විය. රන් කෙමියක බහාලූවාක් මෙන් පිහිටි රහසඟ හා දිගු පු`ඵල්ව පිහිටි දිව යන මහා පුරිස් ලකුණු දෙක ගැනය.
එවිට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇති විය.
“මේ සේල බ්‍රාහ්මණයා තථාගත සිරුරෙහි පිහිටා තිබෙන මහා පුරිස් ලකුණුවලින් දෙකක් හැර අනෙක් ලකුණු බොහෝ සෙයින් දනී. ඒ මහා පුරිස් ලකුණු දෙක කෙරෙහි සැක කරන්නේ වේ. සිත නොබැස ගන්නේ වේ. නොපහදින්නේ වේ,යි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සේල බ්‍රාහ්මණයා හට භගවතාණන්ගේ රන් කෙමියක බහාලූවාක් මෙන් පිහිටි රහසඟ දැක්ක හැකි වන සේ ඍර්ධිමය ආකාරයක් කළ සේක. එමෙන් භාග්‍යවතුන් වහන්සේ (ඍර්ධිමය ආකාරයකින්) දිව දිගුකොට දෙකන් සි`ඵ ස්පර්ශ කළ සේක. දෙනාස් පුඩු ස්පර්ශ කළ සේක. මුළු නළල් තලයම දිවෙන් වැසූ සේක.
එකල්හි සේල බ්‍රාහ්මණයා හට මේ අදහස ඇති විය.
“ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරිස් ලකුණින් පිරිපුන්ව වැඩ වෙසෙති. නොපිරිපුන්ව නොවේ. එහෙත් මුන්වහන්සේ “බුද්ධත්වයට” පත් වූ කෙනෙක් දෝ හෝ එසේ නොවෙත් දෝ හෝ යි මම නොදනිමි. එහෙත් ඉතාම මහළු වයෝවෘද්ධ, ආචාර්ය ප්‍රාචාර්ය බ්‍රාහ්මණයන්ගෙන් මා අසන ලද දෙයක් තිබේ. එනම්, යම් අරහත් සම්මා සම්බුදුවරු වෙත් නම් උන්වහන්සේ තුළ පවතින ගුණධර්ම මතු කොට කතාකරන විට තමන් වහන්සේලා ඒ අයුරු බව ප්‍රකට කරති’ යන්න ය. ඒ නිසා මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට ගැළපෙන ගාථාවෙන් ප්‍රශංසා කරන්නෙම් නම් මැනව’යි.”
ඉක්බිති සේල බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ එයට සුදුසු ගාථාවෙන් ප්‍රශංසා කළේය.
පිරිපුන් කයින් යුතු – සොඳුරු සිරි ඇතියාණනි
මනා උපතකින් යුතු – සොඳුරු රූ සිරියාණනි
රන් පැහැ සිරුරකින් යුතු – ඉතා සුදු වූ දත් පෙළින් යුතු
වීරියවන්ත වූ – භගවතාණන් වහන්සේ
සොඳුරු උපතක් – ලැබුණ කෙනෙකුට
ලකුණු පවතී – හඳුන ගන්නට
ලැබුණ පින් සිරුරෙහිද ඔබ හට
මහ පුරිස් සටහන් පෙනේ මට
පහන් වී ගිය නෙතින් යුතු වූ – සඳක් සේ සොමි ගුණෙන් යුතු වූ
මනා උස මහතින්ද දැඩි වූ – බඹහු සේ සිරුරින්ද සෘජු වූ
සිටින විට ඔබ සමණ කැල මැද – දිලී බබළයි හිරු මඬල ලෙස
සොඳුරු දැකුමෙන් යුතු – පින්වත් ශ්‍රමණයාණනි
සමේ පැහැයද ඔබගේ – දිලෙයි රන්වන් විලසේ
මේ ලෙසින් උත්තම වූ – සුන්දර පැහැයකින් යුතු
ඔබතුමන්ගේ ඔය ශ්‍රමණ බව – කුමන කරුණක් පිණිසද
මුළු දඹදිවට ඉසුරුව – සිව් මහ සයුරු ජයගෙන
සක්විති රජෙකු වන්නට – සුදුසු වේ ඔබ වගේ කෙනෙකුට
භවත් ගෞතමයාණනි,
ඔබ පසුපසින් පැමිණෙති – ඉසුරුමත් මහ රජවරු
රාජාභිරාජ වූ මනුජේන්ද්‍රයාණනි – විචාරනු මැන රජ බව
(භාග්‍යවතුන් වහන්සේ)
පින්වත් සේලයෙනි මම් – මේ තුන් ලොවට රජ වෙමි
අනුත්තර බවට පත් වූ – සදහම් රජාණන් වෙමි
කිසිවෙකුට කළ නොහැකි දම්සක – පවත්වමි සදහම් තුළින්
(සේල බ්‍රාහ්මණ)
සම්බුදු රජාණන් බව – අනුත්තර දම් රජාණන් බව
පිළිණ කරනා ඔබ – සදහම් තුළින් දම්සක
පවත්වන බව – කියන ගෞතමයාණනි,
ශාස්තෘ වූ ඔබතුමන්ගේ – කවුද ඒ දම් සෙනවියාණෝ?
ඔබ පවත්වන දම් සකට නිසි – කවුරු වෙද අනුවර්තයාණෝ?
(භාග්‍යවතුන් වහන්සේ)
පින්වත් සේලයෙනි,
ම විසින් පවත්වන ලද – අනුත්තර දම්සක
තථාගත අනුජාත වූ – සැරියුත් ය එය පවත්වන්නේ
උතුම් නුවණින් දැකිය යුතු හැම – දකින්නට ලැබගතිමි එ නුවණ
වැඩිය යුතු වූ සියළු ගුණ දම් – වැඩූයෙමි පිරිපුන් ලෙසින් මම
දුරු කෙරුව යුතු සියළු කෙලෙසුන් – දුරු කරන ලදි සියළු විලසින්
බමුණ එහෙයින් දරනු මා ගැන – “බුදු බවට පත් කෙනෙකු” විලසින්
බමුණ, ඔබ මා කෙරෙහි පවතින – සැකය දුරු කර ගත මැන
නිතර සම්බුදු කෙනෙක් දක්නට – ලැබෙන්නේ ලොව කලාතුරෙකින්
උපත සම්බුදු කෙනෙකුගේ – නිතර දැකගත නොහැකි වූ
කලාතුරෙකින් සිදුවන – දුලබ වූ දෙයකි ලොව
බමුණ, මම අනුත්තර – ශල්‍ය වෙදැදුරු සම්බුදුන් වෙමි
උත්තම බවට පත් වූ – ඉක්මවා උපමා හැම
මර සෙනඟ ඔද තෙද බිඳ – වසඟ කොට හැම සතුරන්
කිසි ලෙසකිනුත් බිය නැති – පිරුණු සතුටින් කල්ගෙවමි මම
(සේල බ්‍රාහ්මණ)
පින්වත්නි, මෙය අසා ගනු මැන – දහම් ඇස් ඇති මුනිඳුන් ගෙ බස
ශල්‍ය වෙදැදුරු මහවීරයාණෝ – වනෙහි නද දෙන සිහරජෙකු වැනි
උත්තම බවට පත් වූ – ඉක්මවා උපමා හැම
මර සෙනඟ මැඩ සිටිනා – සම්බුදු රජුන් දුටු විට
හීන ගති ඇති අය පවා – කවුරුද නොපහදින්නේ?
යමෙක් රිසි වෙත් නම් – මා පසු පසින් එත්වා!
යමෙක් නොකැමති නම් – ආපසු හැරී යත්වා!
දිලෙනා උතුම් නුවණින් – බුදුරජුන්ගේ සසුනෙහි
මෙහි මැ මම අද – පැවිදි වන්නෙමි
(සිසු පිරිස)
භවතාණන්ට රුචි නම් – සසුන සම්බුදු රජාණන් ගේ
දිලෙනා උතුම් නුවණින් – බුදු රජුන්ගේ සසුනෙහි
පැවිදි වන්නෙමු ඔබ සමඟ අපි
(සේල බ්‍රාහ්මණ)
පින්වත් භගවතාණනි,
ආයාචනා කර සිටිත් – නමස්කාර කරමින්
තුන් සියයක්ම වූ – මේ සියළු බමුණෝ
බඹසර සරන්නෙමු කියා – ඔබේ සම්බුදු සසුනේ
(භාග්‍යවතුන් වහන්සේ)
පින්වත් සේලයෙනි,
ලොවේ යම් කිසි සසුනක – සාරවත් වූ පැවිද්දක් වෙද
ඒ උතුම් බඹසර – කියා දෙන ලදි සොඳුරු විලසට
මේ ලොව දීම දත හැක – දැකිය හැක හැම කලකම
ඒ උතුම් බුදු සසුනේ – නොපමාව හික්මෙන කෙනා හට
පිරිස සහිත වූ සේල බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි බව ලැබුවේය. උපසම්පදාවද ලැබුවේය.
එකල්හි ජටාධර කේණිය තවුස් තෙමේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ස්වකීය අසපුවෙහි ප්‍රණීත වූ ආහාරපාන පිළියෙල කොට, “භවත් ගෞතමයන් වහන්ස, දානය පිළියෙල කොට සූදානම්” යයි භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය.
එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි සිවුරු පොරවා සඟළ සිවුරෙන් යුතුව පාත්‍රයද ගෙන ජටාධර කේණිය තවුසාගේ අසපුවට වැඩි සේක. වැඩමකොට භික්ෂු පිරිස සමඟ පනවන ලද අසුන්වල වැඩහුන් සේක. ඉක්බිති ජටාධර කේණිය තවුස් තෙම බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු පිරිසට ප්‍රණීත වූ ආහාර පානයෙන් සියතින්ම උපස්ථාන කෙළේය. ඉතා හොඳින් සැලකුවේය. වළඳා නිමාකොට පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණි ජටාධර කේණිය තවුස් තෙමේ එක් පසෙකින් පහත් අසුනක හිඳ ගත්තේය. එක් පසෙක හුන් ජටාධර කේණිය තවුස් හට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවලින් අනුමෝදනා කළ සේක.
යාගයෙහි මුල්ම දෙය – අග්නි පූජාව වේ
ඡන්දසෙහි මුල්ම දෙය – වේදයයි
මිනිස් ජන කැල මැද – රජුය මුල්වන කෙනා
හැම ගංගාවන්ට – මහ සයුර මුල් වේ මය
නැකත් තරුවලට අහසේ – පුන්සඳය මුල් වන්නේ
උණුසුම් ම දේ අතරේ – හිරුමඬල මුල් වන්නේ
පින් ලබා ගනු කැමතිව – දන් පැන් පුදන පිරිසට
සැබැවින්ම මුල් වන්නේ – බුදුරජුන්ගේ ශ්‍රමණ පිරිසයි
මේ ගාථාවලින් අනුමෝදනා කළ භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී වැඩි සේක. එසමයෙහි පිරිස සහිත වූ ආයුෂ්මත් සේල තෙරණුවෝ හුදෙකලාවේම වාසය කරමින් අප්‍රමාදීව, වීර්යවන්තව, දිවි පුදා වෙර වඩමින්, වාසය කරන විට, යම් අර්ථයක් පිණිස කුල පුත්‍රයෝ උතුම් අදහසින් ගිහිගෙදරින් නික්ම බුදුසසුනේ අනගාරිකව පැවිදි වෙත් නම්, ඒ බඹසර ජීවිතයේ කෙළවර වූ උතුම් රහත් බව මෙලොවදීම සුවිශේෂ ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට වාසය කළහ.
යළි යළිත් ඉපදෙන ස්වභාවය නිමාවට පත්විය. බඹසර ජීවිතයද නිමාවට පත්විය. කළයුතු හැම කොට අවසන් විය. මත්තෙහිද ඒ සඳහා කළ යුතු වූ කිසිවක් නැතැයි අවබෝධයෙන්ම දැන ගති. පිරිස සහිත වූ ආයුෂ්මත් සේල තෙරණුවෝ රහතුන් අතර කෙනෙක් බවට පත් වූහ.
එකල්හි පිරිස් සහිත වූ ආයුෂ්මත් සේල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ සිවුර ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමින් ගාථාවලින් මෙය පැවසූහ.
දහම් ඇස් ඇති මුනිඳුනි,
මෙයින් අට දිනකට පෙර – පැමිණියෙමු තිසරණ වෙත
භගවතාණනි, ඔබේ – උතුම් සම්බුදු සසුනෙහි
සත් රැයක් ගෙවෙන විට – දමනය වුනෙමු අපි සැම
ඔබ වහන්සේමය – උතුම් සම්බුදු රජාණෝ
ඔබ වහන්සේමය – ශාස්තෘවරයාණෝ
හැම කෙලෙස් මුල් වනසා – වැඩි සේක එතෙරටම
අසරණ ලෝ සතුන්වද – එතෙර කරවන සේක
ඉක්මවා සකෙලෙස් කර්මයන් – උදුරා දමා කෙලෙස් මුල්
නොබැඳී කිසිම දෙයකට – නැතිවී බීත සිතිවිළි
සිංහ රාජයෙක්මය – ඔබ වහන්සේ නම්
තුන් සියයකි මේ සමණ කැල – වැඳ සිටිත් නළලේ තබා අත්
දිග හළ මැනවි ඔය සිරිපතුල් – හස්තීහු වඳිත්මය ශාස්තෘන් වහන්සේ
සේල නිසා වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M