මේ ආකාරයෙන්ය මා විසින් අසා දැනගන්නා ලද්දේ.
එකල භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ලේණුන්ගේ අභය භූමියක් වූ වේ`ඵවනාරාමයෙහි ය වැඩ සිටියේ. එසමයෙහි සභිය නම් තාපසයෙකුට පැරණි ලේ ඤාතියෙකු වන දෙවියෙකු විසින් ප්‍රශ්න (කීපයක්) උගන්වන ලද්දේ වේ.
“පින්වත් සභිය, යම් ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා, ඔවුන්ගෙන් ඔබ මේ ප්‍රශ්න විමසූ විට නිසි පිළිතුරු සපයයි නම්, එසේ පිළිතුරු දෙන කෙනා ළඟ ඒ ධර්මයේ හැසිරෙන්නැයි”
එවිට සභිය තවුසා එම දෙවියාගෙන් ඒ ප්‍රශ්න ඉගෙන ගෙන පිරිස් සහිත වූ, කණ්ඩායම් සහිත වූ, ඒ ඒ පිරිස්වලට ආචාර්ය වූ, ප්‍රසිද්ධ වූ, කීර්තිමත් වූ, ආගමික වූ, බොහෝ ජනයා විසින් යහපත් යැයි අනුමත කරන ලද යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, එනම්, පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බල, පකුධ කච්චායන, සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත, නිගණ්ඨ නාතපුත්ත යන මේ උදවිය වෙත එළඹ ප්‍රශ්න අසයි. සභිය තවුසා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ඔවුහු අසමර්ථ වෙත්. එසේ අසමර්ථව කෝපයද, ද්වේශයද, අදාළ නැති කතාවන්ද ඇද ගනිත්. යළිත් සභිය තවුසාගෙන්ම ප්‍රති ප්‍රශ්න අසත්. එවිට සභිය තවුසාට මේ අදහස ඇති විය.
පූරණ කස්සප…. නිගණ්ඨ නාතපුත්ත යන මේ උදවිය…. බොහෝ ජනයා විසින් යහපත් යයි අනුමත කර තිබෙන නමුත් මා විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න අසන විට ඔවුහු පිළිතුරු සැපයීමට අසමත් වෙති. අසමර්ථ වෙමින්ම කෝපයත්, ද්වේශයත් අදාළ නැති කතාවනුත් ඇද ගනිත්. යළිත් මගෙන්ම ප්‍රශ්න අසත්. ඉතින් මමත් හීන වූ ගිහි බවට පත්ව කාමයන් පරිභෝග කරන්නෙම් නම් මීට වඩා හොඳ නොවේදැයි.
යළිත් සභිය තවුසාට මේ අදහස ඇති විය. මේ ශ්‍රමණ ගෞතමයන්ද පිරිස් සහිතව, කණ්ඩායම් සහිතව, පිරිස්වලට ආචාර්යව, ප්‍රසිද්ධව, කීර්තිමත්ව, ආගමිකව සිටින බොහෝ ජනයා විසින් යහපත් යැයි අනුමත කළ කෙනෙකි. ශ්‍රමණ ගෞතමයන් කරාද ගොස් මේ ප්‍රශ්න විමසන්නෙම් නම් හොඳ නොවේදැයි.
ඉක්බිති සභිය තවුසා මෙසේ සිතීය. පූරණ කස්සප…. නිගණ්ඨනාථ පුත්ත යන මේ භවත් ශ්‍රමණවරු දිරාගිය, වයෝවෘද්ධ නමුත්,…. බොහෝ ජනයා විසින් යහපත් යැයි අනුමතකොට තිබෙන නමුත් මා විසින් ප්‍රශ්න අසන විට ඔවුහු පිළිතුරු සපයන්නට අපොහොසත් වෙති. එසේ අපොහොසත් වෙමින්ම කෝපයත් ද්වේශයත් අදාළ නැති කතාවත් පහළ කරත්. යළිත් මගෙන්ම ප්‍රති ප්‍රශ්න අසත්. එසේ බලන විට මේ ශ්‍රමණ ගෞතමයෝ මේ ප්‍රශ්නවලට කෙසේ නම් මට පිළිතුරු දෙත්ද? ශ්‍රමණ ගෞතම තෙමේ තවම උපතින් ළදරුවෙකි. පැවිද්දෙන්ද නවකයෙකි’ යි.
යළි සභිය තවුසා මෙසේ සිතීය.
ශ්‍රමණයා වනාහි ළදරු යැයි සලකා ගර්හා නොකළ යුතුයි. ශ්‍රමණ ගෞතමයන් පවා ළදරු වුයේ නමුදු මහත් ඍර්ධි ඇති මහානුභාව සම්පන්න කෙනෙකි. මම වනාහි ශ්‍රමණ ගෞතමයන් කරා එළඹ මේ ප්‍රශ්න අසන්නෙම් නම් හොඳ නොවේදැයි.
එසේ සිතූ සභිය තවුසා රජගහනුවර බලා චාරිකාවට නික්මුණේය. පිළිවෙළින් චාරිකාවේ හැසිරෙමින් කලන්දක නිවාපයේ වේළුවනයේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතු පිළිසඳර කතාකොට නිමවා එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හිඳගත් සභිය තවුසා භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ සැලකෙළේය.
(සභිය තවුසා)
සැක ඇතිව පැමිණියෙමි – විමසන්ට පැමිණියෙමි
පැන අසන්නට කැමැත්තෙන්ම – මම පැමිණයෙමි
නිමා කරදෙනු මැනවි – අසන මාගේ ප්‍රශ්ණ
පිළිවෙළින් පැහැදිළිව – දෙනු මැනවි මෙමා හට පිළිතුරු
(භාග්‍යවතුන් වහන්සේ)
සභිය ඔබ පැමිණියේ – දුර බැහැර සිට නොවෙද
පැන අසන්නට කැමැත්තෙන්ම – ඔබ පැමිණියේ
නිමාවට පත් කරමි – ඔබ අසන සියලු පැන
කියා දෙමි මම ඔබට – පිළිවෙලින් පැහැදිළිව
සභිය ඔබ අසන්නට – කැමති යම් ප්‍රශ්න වෙද
විමසන්න මගෙන් එය
අසන ඒ ඒ පැනය – නිමා කර දෙමි ඔබට
මෙසේ වදාළ කල්හි සභිය තවුසාට මේ අදහස ඇති විය. ‘භවත්නි! සැබැවින්ම අසිරියෙකි. භවත්නි! සැබැවින්ම නොසිතූ විරූ දෙයකි. අනෙක් ශ්‍රමණ බමුණන් සමඟ මෙලෙසින් කතා කරන්නට අවකාශ මාත්‍රයෙකුදු නොලද්දෙමි. එහෙත් ශ්‍රමණ ගෞතමයන් විසින් ඒ සඳහා මා හට අවසර දෙන ලද්දේ වේ, යයි සතුටින් යුතුව, ප්‍රමුදිතව, ඔද වැඩුනු සිතින් යුතුව, හටගත් ප්‍රීති සොම්නසින් යුතුව, භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
කුමන ගුණයට පත් කෙනාටද – “ශ්‍රමණ” යයි පවසන්නේ?
කුමන කරුණින් යුතු කෙනාටද – කියන්නේ “හික්මුණෙකි” යයි?
කෙලෙසින්ද කෙනෙකුට කියන්නේ – “දමනයට පත් කෙනා” යයි?
කෙලෙසින්ද කෙනෙකුට කියන්නේ – අවබෝධ කළ ‘බුද්ධ යයි?
මා අසන මේවාට දෙන්න – පිළිතුරු භගවතාණෙනි!
(භාග්‍යවතුන් වහන්සේ)
තමාගේ පිළිවෙතින් පිරිනිවී ගිය – සැකයෙන්ද එතෙර වී ගිය
හැම වාද විවාදම දුරු කෙරුව – සියළු බඹසර පිරුව
යළිත් භවයක් නොමැති වූ – යමෙක් වේ නම් ලොවේ
ඔහුට “සමණා” යයි කියයි.
හැම තැනම මැදහත්ව – සිහි නුවණ බලවත්ව
සියළු ලොව කිසිවෙකුට – නොම කරයි කිසිවිටෙක හිංසා
දුකින් එතෙරට වැඩිය – නොකැළඹුණු සිතින් යුතු
ඇවිස්සෙන කෙළෙස් නැති – සමණාට “හික්මුණෙකි” යයි කියයි
ඇතුළත පිටත යන – මේ සියළු ලෝකය ගැන
මනාකොට වඩන ලද – පුහුණු කළ ඉඳුරන් ලද
සැබෑ තතු හැඳිනගෙන – මෙලොව හා පරලොව ගැන
පිරිනිවෙන්නට කැමතිව – කල් යල් බලා සිටිනා
දහම වැඩූ උතුමා හට – කියයි “දමනයට පත් කෙනා” යයි
හිත බැඳෙන මතවාද ගැන හා – මැරෙන ඉපදෙන ගති ඇති
සසරේ සැබෑ තතු ගැන – විමසමින් නුවණ යොදවා
කෙලෙස් මලකඩ දුරු කළ – පරම පිරිසිදු බව ලද
ඉපදීම අවසන් කළ – පින්වතාටය “බුද්ධ” යයි කියන්නේ
එවිට සභිය තවුස් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම සතුටින් පිළිගෙන, අනුමෝදන්ව, සතුටු සිතින් යුතුව, ප්‍රමුදිතව, ඔද වැඩුණු සිතින් යුතුව, හටගත් ප්‍රීති සොම්නස් ඇතිව, භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසීය.
(සභිය තවුසා)
කුමන ගුණයට පත් කෙනාටද – “බ්‍රාහ්මණ” යයි කියන්නේ?
කුමන කරුණින් යුතු කෙනාටද – “ශ්‍රමණයා” යයි කියන්නේ?
කෙලෙසින්ද කෙනෙක් ලොව – “පව් දොවා හළ” කෙනෙකු වන්නේ?
කෙලෙසින්ද කෙනෙකු හට – “ඇත් රජා” යයි කියන්නේ?
(භාග්‍යවතුන් වහන්සේ)
සියළු පව් දුරු කළ සිතින් යුතු – සොඳුරු ගුණ ඇති යහපතින් යුතු
එකඟ වී ගිය සමවතින් යුතු – නිවන තුළ නැවතුන සිතින් යුතු
සසරින් එතෙර වී ගිය – ගුණය පිරිපුන් වී ගිය
කෙලෙස් කිසිවක නොගැලෙන – ලෝ දහමින්ද නොසැලෙන
කෙනාටය – “බ්‍රාහ්මණ” යයි කියන්නේ.
සිතද සංසිඳුවාලූ – හැම පින් පව් ද දුරලූ
මෙලොව හා පරලොව දැන – විරාගී බවට පත් වූ
ඉපදෙන මැරෙන ලොව – ඉක්ම ගොස් සත්‍යයට පත් වූ
අකම්පිත සිත් ඇති කෙනාටය – “ශ්‍රමණයා” යයි කියන්නේ
ඇතුළත පිටත යන – මේ සියළු ලෝකය තුළ
සෝදා සියළු පව් මල – පිවිතුරු බවට පත්වුණ කෙනා
කෙලෙස් සිතිවිලි වල – දෙව් මිනිස් කැල පැටලෙනා විට
නොපැටලී ඒ කිසිම දෙයකට – වසනා කෙනාටය
කියන්නේ “පව් දොවා හළ කෙනා” වශයෙන්
ලෝකයේ කිසි කලෙකත් – නොකරයි කිසිදු පවකුත්
ලෝකයටම බැඳෙන – හැම බැඳුමක්ම සිඳලූ
යළි කිසිවකට නොබැඳී – සදහටම නිදහස් වූ
අකම්පිත සිතින් යුතු – සත්‍යය තුළට පැමිණුන
කෙනාටය කියන්නේ – ලොවේ “ඇත් රජා” යයි
එවිට සභිය තවුස් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම අසා…. භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසීය.
කවුරුගැන පවසත්ද බුදුවරු – “කෙත දිනූ කෙනා” වශයෙන්?
කුමන කරුණින් යුතු කෙනාටද – “කුසල” යයි පවසන්නේ ?
කෙලෙසින්ද කෙනෙකුට කියන්නේ – “දැනමුතු” කෙනා යයි?
කෙලෙසින්ද කෙනෙකු හට – “මුනි” කියා පවසන්නේ?
මා අසන මේවාටද- දෙන්න පිළිතුරු, භගවතාණෙනි!
(භාග්‍යවතුන් වහන්සේ)
දෙව් මිනිස් ලෝක හා – බ්‍රහ්ම ලොව යන හැම කෙත
නුවණින්ම විමසමින් – කෙත් මුල්ද හඳුනාගෙන
කෙතට බැඳෙනා සියළු මුල් සිඳමින් – සදහටම නිදහස් වුණ
අකම්පිත සිතින් යුතු – සත්‍යයට පත් වූ කෙනාටය
“කෙත දිනූ කෙනා” යයි කියන්නේ
දෙව් මිනිස් කෝෂ හා – බ්‍රහ්ම ලොව යන කෝෂද
නුවණින්ම විමසමින් – කෝෂ මුල් හඳුනාගෙන
කෝෂයට බැඳෙනා සියළු මුල් සිඳිමින් – සදහටම නිදහස් වුණ
අකම්පිත සිතින් යුතු – සත්‍යයට පත් කෙනාටය
“කුසල” යයි පවසන්නේ
තමා හා අනුන් යන – දෙපැත්තම විමසන්නේ
එහි ඇති සැබෑ තතු – පිරිසිදු ලෙසට දන්නේ
ඉක්මවා ගොස් – සියළු කළු – සුදු කර්මයන්
අකම්පිත සිතින් යුතු – සත්‍යයට පත් කෙනාටය
කියන්නේ – “දැනමුතු කෙනා” යයි
ඇතුළ හා පිටත යන – මේ සියළු ලෝකයේ
අයහපත හා යහපත – මනාකොට හඳුනාගෙන
දෙව් මිනිසුන් අතර – පිදුම් ලබනා කෙනෙක් වී
සියළු කෙලෙසුන් ඉක්මවා ගිය
කෙනාටය කියන්නේ – ලෝකයේ “මුනිඳුන්” යයි
එවිට සභිය තවුස් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම අසා…. භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවේය.
කුමන ගුණයට පැමිණි අයටද – “දහමේ පරතෙරට පත් කෙනා” යයි කියන්නේ ?
කුමන කරුණින් යුතු කෙනාටද – “අවබෝධ කළ කෙනා” යයි කියන්නේ ?
කෙලෙසින්ද කෙනෙකුන් හට – “වීරියවන්තයා” කියන්නේ ?
කෙලෙසින්ද පවසන්නෙ කෙනෙකුට – “ශ්‍රේෂ්ඨ මුනිතුමා” වශයෙන්
මා අසන මේවාටද – දෙන්න පිළිතුරු භගවතාණෙනි!
(භාග්‍යවතුන් වහන්සේ)
මෙහි සමණ බමුණන්ගෙ – හැම මතවාද දැනගෙන
නුවණ යොදවා විමසමින් – දැන සියළු විඳින දෙය
ඒ කෙරෙහි ඇල්ම බැහැර කොට – සියල්ලම ඉක්ම ගිය
කෙනාටය කියන්නේ – “දහමේ පරතෙරට පත් කෙනා” යයි
ඇතුළත පිටත පවතින – හැම කෙලෙස් ලෙඩට මුල් වූ
භවය සකසන නාම – රූපය – විමසමින් නුවණ යොදවා
හැම කෙලෙස් ලෙඩට මුල් වූ – සියළු බන්ධනයෙන් මිදී
අකම්පිත සිතින් යුතු වී – සත්‍යයට පත් වූ කෙනා හට
කියන්නේ “අවබෝධ කළ කෙනා” වශයෙන්
මෙහි හැම පවින් වෙන් වී – නිරා දුක් ඉක්ම ගිය
නිතර වීරිය වඩන – දිවි පුදා නිති වඩන වීරිය
ලෝ දහමින්ද නොසැලෙන- සත්‍යයට පත් වූ
නුවණ ඇති කෙනා හට- කියයි “වීරියවන්තයා” යයි
ඇතුලත පිටත පවතින – හැම කෙලෙසුන්ට මුල් වූ
සියළු බන්ධන දැනගෙන – ඒ සියල්ලේ මුල් සිඳ
හැම දුකින් මිදී ගිය – ලෝ දහමින්ද නොසැලෙන
සත්‍යයට පත් කෙනා හට – කියයි “ශ්‍රේෂ්ඨ උතුමා” යයි
එවිට සභිය තවුස් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම අසා…. භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසීය.
කුමන ගුණයට පත් කෙනාටද කියන්නේ – “යහපතට පත් කෙනා” යයි ?
කුමන කරුණින් යුතු කෙනාටද – “උතුම් කෙනෙකි” යි කියන්නේ ?
කෙලෙසින්ද පවසන්නෙ කෙනෙකුට – “දහමෙ හැසිරෙන කෙනා” යයි ?
කෙලෙසින්ද කෙනෙකු හට – “තවුසා”ය කියන්නේ ?
මා අසන මේවාටද – දෙන්න පිළිතුරු භගවතාණෙනි!
(භාග්‍යවතුන් වහන්සේ)
ලොවේ හැම දහම ගැන – අසා නුවණින් දැනගෙන
වරද නිවරද යන – දේ ගැන ද නුවණින් දැන
මැඩගෙන සියළු අකුසල් – එතෙර වී හැම සැකයෙන්
සදහටම නිදහස් වී – දුක් රහිත බවට පත් වූ
කෙනාටය කියන්නේ – “යහපතට පත් කෙනා” යයි
හිතේ මුල් බැසගෙන ඇති – සියළු ආශා දුරුකොට
නුවණද උපදවාගෙන – මව් කුසක සැතපෙන්නට නොඑනා
නිත්‍ය, සුඛ, ආත්ම, යන – සඤ්ඤාවෙන්ම ඇතිවන
කෙලෙස් මඩ බැහැර කළ – සසරෙ නොම පැටලෙන කෙනා
“ආර්ය උතුමා” වශයෙන් – නැණවතුන් හඳුනන්නේ
සදහම් පිළිවෙත් තුළ – මනාකොට හැසිරීමෙන්
දක්ෂ වී හැම කල්හිම – අවබෝධ කොට ඒ දහම්
නොබැඳෙමින් කිසිතැනක – සදහටම නිදහස් වී ගිය
කෙනා තුළ නොමැති විට – කිසි තැනක කිසි ගැටුමක්
ඔහු ගැනය කියන්නේ – “දහමෙ හැසිරෙන කෙනා” වශයෙන්
උඩ යට හරස් අත – ඒ අතර හෝ විඳවන
දුක් විපාකය දෙන – යම්කිසි කර්ම ඇත් නම්
ඒ හැම බැහැරකොට – නුවණින් යුතුව හැසිරෙන
මායා මාන හුල් – ලෝභයද ක්‍රෝධය හා
මේ නාම රූපයද – සදහටම අවසන් කළ
නිවන වෙත පත් කෙනාටය – “තවුසා” ය කියන්නේ
එවිට සභිය තවුස් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම සතුටින් පිළිගෙන අනුමෝදන්ව, සතුටු සිතින් යුතුව, ප්‍රමුදිතව, ඔද වැඩුණු සිතින් යුතුව, හටගත් ප්‍රීති සොම්නස් ඇතිව, තමා හුන් අසුනින් නැගිට උතුරු ස`ඵව ඒකාංශ කොට, පොරවා ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත නමස්කාර කරමින් උන්වහන්සේට සුදුසු ගාථාවලින් මෙසේ ප්‍රකාශ කළේය.
ශ්‍රමණ මත සැට තුනක පැටලී – විඳින දුක් ඇති ලෝකයේ
සඤ්ඤාව විපරීත කරගෙන – පටලැවී ගිය ලෝකයේ
ඒ සියළු මතවාද මැඩගෙන – දිලෙන නුවණැති මුනිඳුනේ
සැඩපහර මැඩ එතෙරටම වැඩි – දිනු සේක මගෙ මුනිඳුනේ
අනේ සමිඳුනි මට සිතෙන්නේ – ඔබවහන්සේ ගැන මෙයයි
වැඩි සේක මේ ලොවේ අගටම – දුකෙහි කෙළවර නම් එයයි
රහත් සම්මා සම්බුදුන් යන – ගුණය බබලන බව සිතෙයි
කෙලෙස් සිඳලූ මුනිතුමාණෝ – ඔබවහන්සේ බව දැනෙයි
දිලෙන නුවණැති ගැඹුරු නුවණැති – පිරුණු නුවණැති පින්වතාණෙනි
ලොවේ දුක් නැති කරන මුනිඳුනි – එතෙර කරවූ සේක මාවද
මා සිතේ පැටලී තිබූ සැක – අවබෝධ කළ සේක මැනැවින්
එතෙර කරවූ සේක මාවද – පටලැවී සියළු සැකයෙන්
වේවා නමස්කාරය – මගේ සම්බුදු සමිඳුනේ
මුනි මාවතේ සපැමිණි – මහා මුනිවරයාණනි
උතුම් ගුණයට සපැමිණි – කෙලෙස් හුල් නැතියාණනි
හිරු ගොත් වංශයෙන් වැඩි – උතුම් බුදුසමිඳාණෙනි
ලොවට සැනසුම සලසන – දැමුණු සිත් ඇතියාණනි
කලින් මා තුළ ඒ සැක – දුරුව යන ලෙස දෙසු සේක මට
සියල්ලම එලෙසින්ම දකිනා – මුනිඳුන්ට ඇත ලොව දහම් ඇස
සැබැවින්ම මගෙ මුනිඳුනේ ඔබ – සම්බුදුන්මය නොමැත මට සැක
පිවිතුරුය ඔබගේ උතුම් සිත – කිසිවිටෙක එහි නීවරණ නැත
ලොව කෙලෙස් පීඩා තිබේ නම් – නසා ඇත ඔබ ඒ සියල්ලම
යළි කවර දා කොතැනකදිවත් – නොමැත ඔය සිත තුළ සැදෙන්නේ
සිසිල් සිත් ඇති මුනි රජාණනි – දැමුණු සිත් ඇති නැණවතාණනි
ඔබවහන්සේ නම් මෙතිලොවේ – සත්‍යයෙන් බැබලී සිටින්නේ
මහා වීර වූ බුදු සමිඳාණනි – නුවණින් දිලෙනා හස්තිරජාණෙනි
දෙසනා විට උත්තම සිරි සදහම් – නාරද කඳු වැටි දෙක තුළ වසනා
හැම දෙවියෝ ඒ සදහම් අසනා – අනුමෝදන් වෙති නිරතුරු තුටිනා
ආජානෙය්‍ය වූ ශ්‍රේෂ්ඨ පුරුෂයාණනි – නමස්කාර වේවා ඔබහට
අති උතුම් යුග පුරුෂයාණනි – නමස්කාර වේවා ඔබහට
දෙවියන් සහිත වූ මේ ලෝකයේ – ඔබට සම වූ කෙනෙක් නැත්මය
ඔබවහන්සේ නම් බුදුරජාණන් වහන්සේමය
ඔබවහන්සේ නම් මගේ ශාස්තෘන් වහන්සේමය
ඔබවහන්සේ නම් මරු පරදවා දිනූ මුනිඳුය
සියළු අනුසය නසා ලූ ඔබ – එතෙරටම වැඩි සේක්මය
මා ඇතුළු දුක් විඳින ලෝකය – එතෙර කරවූ සේක්මය
කෙලෙස් හැදෙනා කර්මයන් හැම – ඉක්මවා ගිය සේක නුවණින්
මුල් බැඳී ගිය ආශ්‍රව හැම – මුලින් ගැලවූ සේක නුවණින්
වදාරති මුළු ලොවට සත්‍යය – සිංහ රාජයෙකුගේ විලසින්
සිටිති ලොව කිසිවකට නොඇලී – භීත සිතුවිලි නොමැති සිතකින්
සුවඳ පියුමකි සමිඳුනේ ඔබ – දියෙහි නොගැලී පිපී තිබෙනා
එලෙස පින හා පවෙහි කිසිවිට – නොතැවරී වැඩ සිටිති තුටිනා
වීරයාණනි තිලොව ජයගත් – පා සඟල දිගු කළ මැනේ
ශාස්තෘන් වහන්සේගේ සිරිපතුල් – මේ සභිය නමඳින්නේ
ඉක්බිති සභිය තවුසා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අසළ වැඳ වැටෙමින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.
“පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරය. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතාමත් සුන්දරය… ඒ මම් වනාහී පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යමි. ශ්‍රී සද්ධර්මයද, ශ්‍රාවක භික්ෂු සංඝයාද සරණ යමි. ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේ ගේ සමීපයෙහි පැවිදි බව ලබම්වා! උපසම්පදාවද ලබම්වා!”
“පින්වත් සභිය, පෙර අන්‍යාගමිකව සිටි යමෙක් මේ ධර්ම විනය තුළ පැවිදි වන්නට කැමති වන්නේ නම්, ඔහු සිව්මසක කාලයක් පුහුණුව ලැබිය යුතුය. ඒ සිව්මස ඇවෑමෙන් ඔහු කෙරෙහි සතුටට පත්වෙන භික්ෂූහු ඔහුව පැවිදි කරත්. භික්ෂු භාවය පිණිස උපසම්පදා කරත්. එමෙන්ම මෙකරුණෙහි ලා මා විසින් පුද්ගල වෙනස්කම්ද අවබෝධ කරන ලද්දේ වේ.”
“ස්වාමීනී, ඉදින් පෙර අන්‍යාගමිකව සිටි කෙනෙක් මේ ධර්ම විනය තුළ පැවිදි වන්නට කැමති වෙමින් සිව්මසක කාලයක පුහුණුවක් ලැබිය යුතු නම්, ඒ සිව්මස ඇවෑමෙන් ඔහු කෙරෙහි සතුටට පත්වෙන භික්ෂූහු ඔහුව පැවිදි කරත් නම්, භික්ෂු භාවය පිණිස උපසම්පදා කරත් නම්, මම සිව් මසක් නොව සිව් වසරක්ම පුහුණු වන්නෙමි. ඒ සිව් වසර ඇවෑමෙන් මා කෙරෙහි සතුටට පත්වෙන භික්ෂූහු මා පැවිදි කරන සේක්වා! භික්ෂු භාවය පිණිස උපසම්පදා කරන සේක්වා!”
සභිය තවුස් තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාවද ලැබීය…. ආයුෂ්මත් සභිය තෙරණුවෝ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වූහ.
සභිය නිසා වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M