ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

5. මාඝ සුත්තං

5. මාඝ ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං.

මේ ආකාරයෙන්ය මා විසින් අසා දැනගන්නා ලද්දේ.

ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ඣකූටේ පබ්බතේ. අථ ඛෝ මාඝෝ මාණවෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ මාඝෝ මාණවෝ භගවන්තං ඒතදවෝච.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහනුවර ගිජුකුළු පව්වේය. එවිට මාඝ නම් තරුණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. තුටු පහටු වන ඒ කථාව අවසන්කොට එකත්පස්ව හිඳ ගත්තේය. එකත්පස්ව හිඳගත් තරුණ මාඝ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවේය.

අහං හි භෝ ගෝතම, දායකෝ දානපති වදඤ්ඤූ යාචයෝගෝ. ධම්මේන භෝගේ පරියේසාමි. ධම්මේන භෝගේ පරියේසිත්වා ධම්මලද්ධේහි භෝගේහි ධම්මාධිගතේහි. ඒකස්සාපි දදාමි. ද්වින්නම්පි දදාමි. තිණ්ණම්පි…. චතුන්නම්පි…. පඤ්චන්නම්පි…. ඡන්නම්පි…. සත්තන්නම්පි…. අට්ඨන්නම්පි…. නවන්නම්පි…. දසන්නම්පි…. වීසායපි…. තිංසායපි…. චත්තාරීසායපි…. පඤ්ඤාසායපි…. සතස්සපි දදාමි. භිය්‍යෝපි දදාමි. කච්චි අහං ගෝතම ඒවං දදන්තෝ ඒවං යජන්තෝ බහුං පුඤ්ඤං පසවාමීති.

“භවත් ගෞතමයන් වහන්ස, මම් වනාහි දන් දෙන කෙනෙක් වෙමි. දානපතියෙක් වෙමි. දිළින්දන්ගේ බස හඳුනන කෙනෙක් වෙමි. යමක් ඉල්ලා ගෙන මා කරා එන්නට සුදුසු කෙනෙක් වෙමි. ධාර්මිකව ධනය හම්බකරමි. ධාර්මිකව උපයා රැස්කරගත් ධනයෙන් එක් කෙනෙකුටද දන් දෙමි. දෙදෙනෙකුටද දන් දෙමි. තිදෙනෙකුටද…. සිව් දෙනෙකුටද…. පස් දෙනෙකෙුටද…. සය දෙනෙකුටද…. සත් දෙනෙකුටද…. අට දෙනෙකුටද…. නව දෙනෙකුටද…. දස දෙනෙකුටද…. විසි දෙනෙකුටද…. තිස්…. හතළිස්…. පනස්…. සිය දෙනෙකුටද දන් දෙමි. එයට වැඩි බොහෝ දෙනෙකුට උදව් කරමි. භවත් ගෞතමයන් වහන්ස, කිම මම මෙසේ දන් දෙන විට, මෙසේ උපකාර කරන විට බොහෝ පින් රැස් කරන්නෙක් වෙම්ද..?”

තග්ඝ ත්වං මාණව, ඒවං දදන්තෝ ඒවං යජන්තෝ පරියේසිත්වා ධම්මලද්ධේහි භෝගේහි ධම්මාධිගතේහි ඒකස්සපි…. සතස්සපි දදාති. භිය්‍යෝපි දදාති. බහුං පුඤ්ඤං පසවතීති.

“පින්වත් තරුණය, ඔය ආකාරයෙන් දන් දෙන විට, ඔය ආකාරයෙන් උපකාර කළ විට, ධර්මිකව ලබන ලද, ධාර්මිකව උපයා ගත්, ධාර්මිකව රැස් කළ ධනයෙන් එක් කෙනෙකුට දන් දෙයි නම්,…. සිය දෙනෙකුට දන් දෙයි නම්, එයටත් වඩා බොහෝ දෙනෙකුට දන් දෙයි නම්, ඒකාන්තයෙන්ම ඔබ බොහෝ පින් රැස් කරන්නෙකි”.

අථ ඛෝ මාඝෝ මාණවෝ භගවන්තං ගාථාය අජ්ඣභාසි.

එවිට තරුණ මාඝ තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ පැවසීය.

490. පුච්ඡාමහං ගෝතමං වදඤ්ඤුං (ඉති මාඝෝ මාණවෝ)
කාසායවාසිං අගිහං චරන්තං
යෝ යාචයෝගෝ දානපතී ගහට්ඨෝ
පුඤ්ඤත්ථිකෝ යජති පුඤ්ඤපේඛෝ
දදං පරේසං ඉධ අන්නපානං
කත්ථ හුතං යජමානස්ස සුජ්ඣේ

දිළිඳුන්ගේ බස හඳුනන – කසාවතින් ගත දැවටුන
“ගෙයක් නොමැතිව හැසිරෙන – පින්වත් භගවතාණෙනි
යමක් ඉල්ලා පැමිණෙන්ට යුතු – දානපති වී ගෙදර වසනා
පිනේ ඵල ගැන හඳුනන – පින් කිරීමට රුචිව සිටිනා
කෙනෙකු නිසි ලෙස සලකා – අනුන් හට දන් පැන් පුදන විට
කවර කෙනෙකුට පිදූ විටදිද – පිරිසිදුව පින්කම කෙරෙන්නේ”?

491. යෝ යාචයෝගෝ දානපතී ගහට්ඨෝ (මාඝාති භගවා)
පුඤ්ඤත්ථිකෝ යජතී පුඤ්ඤපේඛෝ
දදං පරේසං ඉධ අන්නපානං
ආරාධයේ දක්ඛිණෙය්‍යේ හි තාදී

(භාග්‍යවතුන් වහන්සේ)

යමක් ඉල්ලා පැමිණෙන්ට යුතු – දානපති වී ගෙදර වසනා
පිනේ ඵල ගැන හඳුනන – පින් කිරීමට රුචිව සිටිනා
කෙනෙකු නිසි ලෙස සලකා – අනුන් හට දන්පැන් පුදන විට
අටලෝ දමින් නොසැළෙන – පූජාවනට සුදුසු රහතුන්
පිරිසිදු කරයි පින්කම

492. යෝ යාචයෝගෝ දානපතී ගහට්ඨෝ (ඉති මාඝෝ මාණවෝ)
පුඤ්ඤත්ථිකෝ යජති පුඤ්ඤපේඛෝ
දදං පරේසං ඉධ අන්නපානං
අක්ඛාහි මේ භගවා දක්ඛිණෙය්‍යේ

(මාඝ තරුණයා)

යමක් ඉල්ලා පැමිණෙන්ට යුතු – දානපති වී ගෙදර වසනා
පිනේ ඵල ගැන හඳුනන – පින් කිරීමට රුචිව සිටිනා
කෙනෙකු නිසි ලෙස සලකා – අනුන් හට දන්පැන් පුදන විට
පූජාවනට සුදුසු රහතුන් – කවුරු දැයි මට කියා දෙනු මැන
භගවතාණන් වහන්සේ…!

493. යේ චේ අසත්තා විචරන්ති ලෝකේ
අකිඤ්චනා කේවලිනෝ යතත්තා
කාලේන තේසූ හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

(භාග්‍යවතුන් වහන්සේ)

ලෝකයේ නොම ඇලී වසනා- නිකෙලෙස්ව පිරිසිදුව සිටිනා
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

494. යේ සබ්බසංයෝජනබන්ධනච්ඡිදා
දන්තා විමුත්තා, අනීඝා නිරාසා
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

සියළු බන්ධන සිඳ හළ – සිත කයද දමනය කළ
සදහටම නිදහස් වුණ – දුකක් නොමැතිව,
ආශා නැතිව සිටිනා
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

495. යේ සබ්බසංයෝජනවිප්පමුත්තා
දන්තා විමුත්තා අනීඝා නිරාසා
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

සියළු බන්ධනයෙන් මිදී ගිය – සිත කයද දමනය කළ
සදහටම නිදහස් වුණ – දුකක් නොමැතිව, ආශා නැතිව සිටිනා
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

496. රාගං ච දෝසං ච පහාය මෝහං
ඛීණාසවා වුසිතබ්‍රහ්මචරියා
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

රාග දේවේෂ මෝහ ද යන – සියළු කෙලෙස් බැහැරට කළ
හැම අකුසල් නසා දමා – බඹසර වැස අවසන් කළ
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

497. යේසු න මායා වසති න මානෝ
යේ වීතලෝභා අමමා නිරාසා
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

මායා නැති, මාන නොමැති – සිත තුළ ලෝභයද නොමැති
මමත්වයෙන් තොර සිත් ඇති – ආශාවන් කිසිත් නොමැති
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

498. යේ වේ න තණ්හාසු උපාතිපන්නා
විතරෙය්‍ය ඕඝං අමමා චරන්ති
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

නොපැටලී කිසි ඇල්මකට ලොව – එතෙර ගිය සැඩ පහර සිඳ බිඳ
මමත්වය සිත තුළින් දුරු කළ – ලොවේ හිතසුව පිණිස හැසිරෙන
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

499. යේසං තණ්හා නත්ථි කුහිඤ්චි ලෝකේ
භවාභවාය ඉධ වා හුරං වා
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

මේ ලොවේ හෝ පරලොවක හෝ – වෙනත් යම්කිසි තැනක ඇති හෝ
ලොවේ තිබෙනා කිසි දෙයක් ගැන – කිසිම තණ්හාවක් සිතේ නැති
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

500. යේ කාමේ හිත්වා අගිහා චරන්ති
සුසඤ්ඤතත්තා තසරංව උජ්ජුං
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

කාමයන් හැම දුරුකළ – ගෙයක් නොමැතිව හැසිරෙන
මනාකොට සංවර වුන – ඇද නොමැති ලී කඳක් සේ වුණ
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

501. යේ වීතරාගා සුසමාහිතින්ද්‍රියා
චන්දෝව රාහුග්ගහණා පමුත්තා
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

රාගය දුරු කෙරුව සිතේ – සුසමාහිත ඉඳුරන් ඇති
රාහුගෙ බැඳුමෙන් නිදහස් – පුන් සඳ වැනි වූ
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

502. සමිතාවිනෝ වීතරාගා අකෝපා
යේසං ගතී නත්ථි ඉධ විප්පහාය
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

මනාකොට සංසිඳුන සිත් ඇති – රාග නැති, නොම සැලෙන ගති ඇති
කෙනෙකු හට නැත යළිත් උපතක් – මෙහිම හැම දුක් නිමා කොට ඇති
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

503. ජහිත්වා ජාතිමරණං අසේසං
කථංකථං සබ්බමුපාතිවත්තා
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

උපත මරණය ඉතිරි නැතිවම – දුරු කෙරුව නිවනටම සිතැතිව
නොමැත එහෙ මෙහෙ දුවන සැකගති – ඒ සියළු සැක ඉක්මවා ගිය
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

504. යේ අත්තදීපා විචරන්ති ලෝකේ
අකිඤ්චනා සබ්බධි විප්පමුත්තා
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

ජලය මැද ඇති දූපතක් ලෙස – තමා රැකගෙන ලොවේ හැසිරෙන
කෙලෙස් රහිතව හැම – දුකින් නිදහස් වී ගිය
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

505. යේ හෙත්ථ ජානන්ති යථා යථා ඉදං
අයමන්තිමා නත්ථි පුනබ්භවෝති
කාලේන තේසු හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

ජීවිතය තුළ පවතින – සැබෑ තතු එලෙසින්ම දැනගෙන
අවසන් භවය මෙය වේ – යළිත් භවයක් නොමැති බව දුටු
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

506. යෝ වේදගූ ඣානරතෝ සතීමා
සම්බෝධිපත්තෝ සරණං බහුන්නං
කාලේන තම්හි හව්‍යං පවෙච්ඡේ
යෝ බ්‍රාහ්මණෝ පුඤ්ඤපේඛෝ යජේථ

පරතෙර පත්ව දහමේ – සිහි නුවණ ඇති – දැහැනේ ඇළුණ සිත් ඇති
ලබාගෙන සම්බෝධි ඤාණය – බොහෝ දෙනෙකුට සැපත සලසන
රහත් සඟ නිසි කලට හඳුනා – දන් පැනින් එතුමන්ව පුදනා
පිං කැමති බමුණු තෙම – පිනක්මය කරගන්නේ

507. අද්ධා අමෝඝා මම පුච්ඡනා අහු (ඉති මාඝෝ මාණවෝ)
අක්ඛාසි මේ භගවා දක්ඛිණෙය්‍යෝ
ත්වං හෙත්ථ ජානාසි යථා තථා ඉදං
තථා හි තේ විදිතෝ ඒස ධම්මෝ

(මාඝ තරුණයා)

සැබැවින්ම හිස් නොමැත – මෙමා විමසූ කිසිදු පැනයක්
දෙසූ සේක මට පිළිතුරු – පූජා ලබන ගුණ ඇති භගවතාණන්
ඔබ වහන්සේ පමණි දන්නේ – ලොවේ පවතින මේ සැබෑ තතු
ඔබ වහන්සේ පමණි දුටුවේ – ලොවේ පවතින මේ සොබාවය

508. යෝ යාචයෝගෝ දානපතී ගහට්ඨෝ
පුඤ්ඤත්ථිකෝ යජති පුඤ්ඤපේඛෝ
දදං පරේසං ඉධ අන්නපානං
අක්ඛාහි මේ භගවා යඤ්ඤසම්පදං

යමක් ඉල්ලා පැමිණෙන්ට යුතු – දානපති වී ගෙදර වසනා
පිනේ ඵල ගැන හඳුනන – පින් කිරීම රුචිව සිටිනා
කෙනෙකු නිසි ලෙස සලකා – අනුන් හට දන්පැන් පුදන විට
දාන සම්පත කුමක් දැයි – භගවතාණෙනි, කියා දෙනු මැන

509. යසජ්ජු යජමානෝ මාඝාති (භගවා)
සබ්බත්ථ ච විප්පසාදේහි චිත්තං
ආරම්මණං යජමානස්ස යඤ්ඤං
එත්ථ පතිට්ඨාය ජහාති දෝසං

(භාග්‍යවතුන් වහන්සේ)

පින්වත් මාඝය,
දන් පැන් පූජා කරන හැම විට – පහදා ගත යුතුමය ඔබගේ සිත
දන් දෙන කෙනෙකුගෙ මූලික අරමුණ – ‘දන් පිදීම’ බව දැනගත යුතුමය
මෙලෙසින් සිත පිහිටුවා කරන විට – දුරුවී යනු ඇත හැම දොස් එම විට

510. සෝ වීතරාගෝ පවිනෙය්‍ය දෝසං
මෙත්තං චිත්තං භාවයං අප්පමාණං
රත්තිංදිවං සතතං අප්පමත්තෝ
සබ්බා දිසා ඵරතේ අප්පමඤ්ඤං

ඇල්මද දුරු කොට – තරහ බැහැර කොට
අපමණ මෙත් සිත – පතුරන හැම විට
දිව රෑ දෙක්හිම – පමාවකින් තොර
අපමණ මෙත් සිත – පැතිරිය යුතුමය

511. කෝ සුජ්ඣති මුච්චති බජ්ඣතී ච
කේනත්තනා ගච්ඡති බ්‍රහ්මලෝකං
අජානතෝ මේ මුනි බ්‍රෑහි පුට්ඨෝ
භගවා හි මේ සක්ඛි බ්‍රහ්මජ්ජ දිට්ඨෝ
තුවං හි නෝ බ්‍රහ්මසමෝති සච්චං
කථං උපපජ්ජති බ්‍රහ්මලෝකං ජුතීමා

(මාඝ තරුණයා)

කවරෙක් නම් ලොවේ – පිරිසිදු වෙයිද? නිදහස් වෙයිද?
කවරෙක් නම් ලොවේ – බැඳී පැටලී යයිද ?
කුමන කරුණින් කෙනෙක් – උපදීද බඹ ලොවේ ?
නොදත් මා අසන මෙකරුණ – කියා දෙනු මැන මුනිඳුනි
භගවතාණන් දුටුව කල මට – මහ බඹහු දැක්කා වැනිය අද
ඔබ වහන්සේ පමණි අපගේ – සැබෑ වූ දෙවියන් වහන්සේ
බඹලොවේ උපදිනා අයුරුද – කියා දුන මැන, නුවණින් දිළෙන සමිඳුනි

512. යෝ යජති තිවිධං පුඤ්ඤසම්පදං (මාඝාති භගවා)
ආරාධයේ දක්ඛිණෙය්‍යේති තාදී
ඒවං යජිත්වා සම්මා යාචයෝගෝ
උපපජ්ජති බ්‍රහ්මලෝකන්ති බ්‍රෑමි

(භාග්‍යවතුන් වහන්සේ)

තුන් කාලයටම සිත පහදා ගෙන – හඳුනාගෙන කළ විට පින් සම්පත
දන් පැන් පිදුමට සුදුසු ගුණය ඇති – නොසැළෙන සිත් ඇති රහතුන් උදෙසා
දන් පැන් පූජා කළ විට මෙලෙසින් – බඹලොව උපතට යයි හේ නිසැකින්

ඒවං වුත්තේ මාඝෝ මාණවෝ භගවන්තං ඒතදවෝච. අභික්කන්තං භෝ ගෝතම…. අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

මෙසේ වදාළ කල්හි තරුණ මාඝ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.

“පින්වත් ගෞතමයන් වහන්ස, ඉතාම අගෙයි…! අද පටන් දිවි තිබෙන තුරාම තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාවද පිළිගන්නා සේක්වා…”!

මාඝ සුත්තං නිට්ඨිතං.

මාඝ නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M