ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

10. කෝකාලික සුත්තං

10. කෝකාලික ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං.

මේ ආකාරයෙන්ය මා විසින් අසා දැනගන්නා ලද්දේ.

ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ කෝකාලිකෝ භික්ඛු යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ කෝකාලිකෝ භික්ඛු භගවන්තං ඒතදවෝච.

එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහිය.

එකල්හි කෝකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙකින් හිඳ ගත්තේය. එක් පසෙක හුන් කෝකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.

පාපිච්ඡා භන්තේ, සාරිපුත්තමොග්ගල්ලානා, පාපිකානං ඉච්ඡානං වසං ගතාති. ඒවං වුත්තේ භගවා කෝකාලිකං භික්ඛුං ඒතදවෝච.

“ස්වාමීනී, සැරියුත් – මුගලන් දෙනම පහත් ආශා ඇත්තෝය. පහත් ආශාවන්ගේ වසඟයට ගියාහුය.”

මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්ෂුවට මෙය වදාළ සේක.

මාහේවං කෝකාලික! මාහේවං කෝකාලික! පසාදේහි කෝකාලික සාරිපුත්තමොග්ගල්ලානේසු චිත්තං. පේසලා සාරිපුත්තමොග්ගල්ලානාති.

“කෝකාලික, එසේ කීමෙන් වළකින්න! කෝකාලික, එසේ කීමෙන් වළකින්න! සැරියුත් – මුගලන් දෙනම කෙරෙහි සිත පහදවා ගන්න. සැරියුත් – මුගලන් දෙනම ප්‍රියශීලී වෙත්හ”යි

දුතියම්පි ඛෝ කෝකාලිකෝ භික්ඛු භගවන්තං ඒතදවෝච.

කිඤ්චාපි මේ භන්තේ භගවා සද්ධායිකෝ පච්චයිකෝ. අථ ඛෝ පාපිච්ඡාව සාරිපුත්තමොග්ගල්ලානා. පාපිකානං ඉච්ඡානං වසං ගතාති.

දෙවනුවද කෝකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.

“ස්වාමීනී, මා හට භාග්‍යවතුන් වහන්සේව සද්ධාවට අයත් නමුදු, උපකාරී නමුදු, සැරියුත් – මුගලන් දෙනම පහත් ආශා ඇත්තෝය. පහත් ආශාවන්ගේ වසඟයට ගියාහුය”.

දුතියම්පි ඛෝ භගවා කෝකාලිකං භික්ඛුං ඒතදවෝච.

මාහේවං කෝකාලික! මාහේවං කෝකාලික! පසාදේහි කෝකාලික සාරිපුත්තමොග්ගල්ලානේසු චිත්තං. පේසලා සාරිපුත්තමොග්ගල්ලානාති.

භාග්‍යවතුන් වහන්සේ දෙවනුවද කෝකාලික භික්ෂුවට මෙය වදාළ සේක.

“කෝකාලික, එසේ කීමෙන් වළකින්න! කෝකාලික, එසේ කීමෙන් වළකින්න! සැරියුත් – මුගලන් දෙනම කෙරෙහි සිත පහදවා ගන්න. සැරියුත් – මුගලන් දෙනම ප්‍රියශීලී වෙත්හ”යි

තතියම්පි ඛෝ කෝකාලිකෝ භික්ඛු භගවන්තං ඒතදවෝච. කිඤ්චාපි මේ භන්තේ භගවා සද්ධායිකෝ පච්චයිකෝ. අථ ඛෝ පාපිච්ඡාව සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතාති.

තුන්වෙනුවද කෝකාලික භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසීය.

“ස්වාමීනී, මා හට භාග්‍යවතුන් වහන්සේ සද්ධාවට අයත් නමුදු, උපකාරී නමුදු, සැරියුත් – මුගලන් දෙනම පහත් ආශා ඇත්තෝය. පහත් ආශාවන්ගේ වසඟයට ගියාහුය”.

තතියම්පි ඛෝ භගවා කෝකාලිකං භික්ඛුං ඒතදවෝච.

මාහේවං කෝකාලික! මාහේවං කෝකාලික! පසාදේහි කෝකාලික සාරිපුත්තමොග්ගල්ලානේසු චිත්තං. පේසලා සාරිපුත්තමොග්ගල්ලානාති.

තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්ෂුවට මෙය වදාළ සේක.

“කෝකාලික, එසේ කීමෙන් වළකින්න! කෝකාලික, එසේ කීමෙන් වළකින්න! සැරියුත් – මුගලන් දෙනම කෙරෙහි සිත පහදවා ගන්න. සැරියුත් – මුගලන් දෙනම ප්‍රියශීලී වෙත්හ”යි

අථ ඛෝ කෝකාලිකෝ භික්ඛු උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අචිරපක්කන්තස්ස ච කෝකාලිකස්ස භික්ඛුනෝ සාසපමත්තීහි පිළකාහි සබ්බෝ කායෝ ඵුඨෝ අහෝසි. සාසපමත්තියෝ හුත්වා මුග්ගමත්තියෝ අහේසුං. මුග්ගමත්තියෝ හුත්වා කළායමත්තියෝ අහේසුං. කළායමත්තියෝ හුත්වා කෝලට්ඨීමත්තියෝ අහේසුං. කෝලට්ඨීමත්තියෝ හුත්වා කෝලමත්තියෝ අහේසුං. කෝලමත්තියෝ හුත්වා ආමලකමත්තියෝ අහේසුං. ආමලකමත්තියෝ හුත්වා බේලුවසලාටුකමත්තියෝ අහේසුං. බේලුවසලාටුකමත්තියෝ හුත්වා බිල්ලමත්තියෝ අහේසුං. බිල්ලමත්තියෝ හුත්වා පභිජ්ජිංසු. පුබ්බං ච ලෝහිතං ච පග්ඝරිංසු.

එවිට කෝකාලික භික්ෂුව අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට නික්ම ගියේය. නික්ම ගොස් නොබෝ වේලාවකින් කෝකාලික භික්ෂුවගේ මු`ඵ සිරුරම අබ ඇට පමණ පිළිකා වලින් වැසී ගියේය. අබ ඇට පමණ ඒවා මුං ඇට තරමට ලොකු විය. මුං ඇට තරම් වූ ඒවා කඩල ඇට තරම් විය. කඩල ඇට පමණ ඒවා ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණ ඒවා නෙල්ලි ගෙඩි පමණ විය. නෙල්ලි ගෙඩි පමණ ඒවා බෙලි ගැට පමණ විය. බෙලි ගැට පමණ ඒවා බෙලි ගෙඩි පමණ වී පුපුරා ගියේය. සැරවද ලේද වැගිරෙන්නට විය.

අථ ඛෝ කෝකාලිකෝ භික්ඛු තේනේව ආබාධේන කාලමකාසි. කාලකතෝ ච ඛෝ කෝකාලිකෝ භික්ඛු පදුම නිරයං උපපජ්ජි. සාරිපුත්තමොග්ගල්ලානේසු චිත්තං ආඝාතෙත්වා.

එවිට ඒ රෝගයෙන්ම කෝකාලික භික්ෂුව කලුරිය කෙළේය. කලුරිය කළ කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුම නිරයෙහි ඉපදුනේය.

අථ ඛෝ බ්‍රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණෝ කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ බ්‍රහ්මා සහම්පති භගවන්තං ඒතදවෝච.

එකල්හි සහම්පතී බ්‍රහ්ම තෙමේ රෑ ඉක්ම ගිය පසු බබළන පැහැයෙන් යුතුව මුළු ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙකින් සිට ගත්තේය. එක් පසෙකින් සිටි සහම්පතී බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය.

කෝකාලිකෝ භන්තේ භික්ඛු කාලකතෝ. කාලකතෝ ච භන්තේ කෝකාලිකෝ භික්ඛු පදුමනිරයං උපපන්නෝ සාරිපුත්තමොග්ගල්ලානේසු චිත්තං ආඝාතෙත්වාති. ඉදමවෝච බ්‍රහ්මා සහම්පති, ඉදං වත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායි.

“ස්වාමීනී, කෝකාලික භික්ෂුව කලුරිය කෙළේය. ස්වාමීනී කලුරිය කළ කෝකාලික භික්ෂුව සැරියුත් – මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුම නිරයෙහි උපන්නේය.”

මෙසේ පැවසූ සහම්පතී බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එහිම නොපෙනී ගියේය.

අථ ඛෝ භගවා තස්සා රත්තියා අච්චයේන භික්ඛූ ආමන්තේසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක.

ඉදං භික්ඛවේ රත්තිං බ්‍රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා… ඉදමවෝච භික්ඛවේ බ්‍රහ්මා සහම්පති. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායීති.

“පින්වත් මහණෙනි ….(පෙ)…. මේ රාත්‍රියෙහි සහම්පතී බ්‍රහ්මයා රෑ ඉක්ම ගිය පසු …(පෙ)…. පින්වත් මහණෙනි, සහම්පතී බ්‍රහ්මයා මෙය පැවසීය. මෙය පවසා මා හට වැඳ පැදකුණු කොට නොපෙනී ගියේය.

ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු භගවන්තං ඒතදවෝච, කීවදීඝං නු ඛෝ භන්තේ පදුමේ නිරයේ ආයුප්පමාණන්ති.

මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.

“ස්වාමීනී, පදුම නිරයෙහි ආයුෂ ප්‍රමාණය කොපමණ දීර්ඝ වේද?”

දීඝං ඛෝ භික්ඛු පදුමේ නිරයේ ආයුප්පමාණං. තං න සුකරං සංඛාතුං. එත්තකානි වස්සානි ඉති වා. එත්තකානි වස්සසතානි ඉති වා. එත්තකානි වස්සසහස්සානි ඉති වා, එත්තකානි වස්සසතසහස්සානි ඉති වා’ති.

“පින්වත් භික්ෂුව, පදුම නිරයෙහි ආයුෂ ඉතා දීර්ඝ වේ. එය ගණන් කොට කීමද පහසු නැත. මෙපමණ වසර ගණනක්ය කියා හෝ, මෙපමණ වසර සිය ගණනක්ය කියා හෝ, මෙපමණ වසර දහස් ගණනක්ය කියා හෝ, මෙපමණ වසර ලක්ෂ ගණනක්ය කියා හෝ,

සක්කා පන භන්තේ උපමං කාතුන්ති.

“ස්වාමීනී, උපමාවක් පෙන්වා දිය හැකිද?”

සක්කා භික්ඛූති භගවා අවෝච. සෙය්‍යථාපි භික්ඛු වීසති ඛාරිකෝ කෝසලකෝ තිලවාහෝ, තතෝ පුරිසෝ වස්සසතස්ස වස්සසහස්සස්ස අච්චයේන ඒකමේකං තිලං උද්ධරෙය්‍ය, ඛිප්පතරං ඛෝ සෝ භික්ඛු වීසතිඛාරිකෝ කෝසලකෝ තිලවාහෝ ඉමිනා උපක්කමේන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍ය.

“පින්වත් භික්ෂුව, එය හැකිය. කොසොල් රට භාවිත කරන කිරිය විස්සකින් යුතු තල භාජනයක් තිබේ යයි සිතමු. පුරුෂයෙක් පැමිණ එයින් එක් තල ඇටය බැගින් වසර සියයකට වරක් හෝ දහසකට වරක් හෝ ඉවත් කරයි නම්, පින්වත් භික්ෂුව විසි කිරියක කෙසොල් රට ඒ තල බඳුනේ තල වහා මෙලෙසින් අවසන් වී යන්නේය.

නත්වේව ඒකෝ අබ්බුදෝ නිරයෝ. සෙය්‍යථාපි භික්ඛු වීසති අබ්බුද නිරයා, ඒවමේකෝ නිරබ්බුදෝ නිරයෝ. සෙය්‍යථාපි භික්ඛු වීසති නිරබ්බුදාා නිරයා, ඒවමේකෝ අබබෝ නිරයෝ. සෙය්‍යථාපි භික්ඛු වීසති අබබා නිරයා, ඒවමේකෝ අහහෝ නිරයෝ. සෙය්‍යථාපි භික්ඛු වීසති අහහා නිරයා, ඒවමේකෝ අටටෝ නිරයෝ. සෙය්‍යථාපි භික්ඛු වීසති අටටා නිරයා, ඒවමේකෝ කුමුදෝ නිරයෝ. සෙය්‍යථාපි භික්ඛු වීසති කුමුදා නිරයා, ඒවමේකෝ සෝගන්ධිකෝ නිරයෝ. සෙය්‍යථාපි භික්ඛු වීසති සෝගන්ධිකා නිරයා, ඒවමේකෝ උප්පලකෝ නිරයෝ. සෙය්‍යථාපි භික්ඛු වීසති උප්පලකා නිරයා, ඒවමේකෝ පුණ්ඩරීකෝ නිරයෝ. සෙය්‍යථාපි භික්ඛු වීසති පුණ්ඩරීකා නිරයා, ඒවමේකෝ පදුමෝ නිරයෝ.

එහෙත් “අබ්බුද” නම් වූ නිරයේ ආයුෂ මෙතරම් ඉක්මනට අවසන් නොවේ. පින්වත් භික්ෂුව, “අබ්බුද” නිර විස්සක ආයුෂ “නිරබ්බුද” නිරයට තිබේ. , “නිරබ්බුද” නිර විස්සක ආයුෂ “අබබ” නිරයට තිබේ. , “අබබ” නිර විස්සක ආයුෂ “අහහ” නිරයට තිබේ. , “අහහ” නිර විස්සක ආයුෂ “අටට” නිරයට තිබේ. , “අටට” නිර විස්සක ආයුෂ “කුමුද” නිරයට තිබේ. , “කුමුද” නිර විස්සක ආයුෂ “සෝගන්ධික” නිරයට තිබේ. , “සෝගන්ධික” නිර විස්සක ආයුෂ “උප්පලක” නිරයට තිබේ. , “උප්පලක” නිර විස්සක ආයුෂ “පුණ්ඩරීක” නිරයට තිබේ. “පුණ්ඩරීක” නිර විස්සක ආයුෂ “පදුම” නිරයට තිබේ.

පදුමං ඛෝ පන භික්ඛු නිරයං කෝකාලිකෝ භික්ඛු උපපන්නෝ සාරිපුත්තමොග්ගල්ලානේසු චිත්තං ආඝාතෙත්වාති.

පින්වත් භික්ෂුව, සැරියුත් – මුගලන් දෙ නම කෙරෙහි සිතේ වෛර බැඳගත් කෝකාලික භික්ෂුව “පදුම” නිරයෙහි ඉපදුනි.”

ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ ශාස්තෘ වූ සුගතයන් වහන්සේ යළි මෙයද වදාළ සේක.

660. පුරිසස්ස හි ජාතස්ස – කුඨාරි ජායතේ මුඛේ
යාය ඡින්දති අත්තානං බාලෝ දුබ්භාසිතං භණං

අඥාන තැනැත්තා – කුරිරු බස් නිති දොඩමින්
තමාවත් නසා ගන්නා – ඒ භයානක “කෙටේරිය”
උපදින විටම ඔහුගේ – කටෙහි හට ගන්නේමය

661. යෝ නින්දියං පසංසති තං වා නින්දති යෝ පසංසියෝ
විචිනාති මුඛේන සෝ කලිං කලිනා තේන සුඛං න වින්දති

නිගා කළ යුතු කෙනා හට – යම් කෙනෙක් පසසන්නෙද
පැසසිය යුතු කෙනා හට – නින්දාවන් කරන්නෙද
හේ පව් රැස් කරයි කට නිසා
හේ ඒ පවින් සැපක් නොවිඳින්නේම ය

662. අප්පමත්තෝ අයං කලි යෝ අක්ඛේසු ධන පරාජයෝ
සබ්බස්සාපි සහාපි අත්තනා අයමේව මහන්තතරෝ කලි,
යෝ සුගතේසු මනං පදෝසයේ.

සූදු කෙළියට ගිය විට – පැරදෙන්නේ ද යම් ධනයක්
ඒ පරාජය නම් ඉතා සුළු වූ දෙයක්ම ය
සුගත වූ මුනිවරුන් කෙරෙහි – යමෙක් සිත දූෂිත කරයි නම්
දහස් ගණනක පැරදුමක් ම යි – තමා හට එයින් අත්වන්නේ

663. සතං සහස්සානං නිරබ්බුදානං
ඡත්තිංසති පඤ්ච ච අබ්බුදානි
යමරියගරහී නිරයං උපේති
වාචං මනඤ්ච පණිධාය පාපකං

සිත හා වචනයද – පිහිටුවාගෙන වරදෙහි
නිකෙලෙස් උතුමන් හට – යම් කෙනෙක් ගරහයි නම්
ඔහු උපදින නිරයට – නිරබ්බුද සිය දහස් වයසයි
එසේම, අබ්බුද වලින් තිස් හයක් හා පසකි

664. අභූතවාදී නිරයං උපේති
යෝ චාපි කත්වා න කරෝමීති චාහ
උභෝපි තේ පෙච්ච සමා භවන්ති
නිහීනකම්මා මනුජා පරත්ථ

හේතු රහිතව චෝදනා නගන්නා – උපදින්නේය නිරයේ
යම් කෙනෙක් පව්කොට – “එය නොකළෙමි”යි කියයි නම්
දෙදෙනාම පරලොව දී – සමාන බවට පත්වෙන්නේ ම ය
නිහීන කර්මයෙන් යුතු ඔවුන් – පරලොව දී දුකට පත්වන්නේ ම ය

665. යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පෝසස්ස අනංගණස්ස
තමේව බාලං පච්චේති පාපං
සුඛුමෝ රජෝ පටිවාතංව ඛිත්තෝ

තරහ සිත් ඇති නොවන – පිරිසිදු සිතින් කල් ගෙවන
නිකෙලෙස් මිනිසෙකුට – නපුරු ලෙස දොස් කියයි නම්
අඥාන වූ ඔහු කරා – ඒ පව හැරී එන්නේ
උඩු සුළඟට හෙලනා ලද – සියුම් දූවිල්ල ලෙසින්

666. යෝ ලෝභගුණේ අනුයුත්තෝ
සෝ වචසා පරිභාසති අඤ්ඤේ
අස්සද්ධෝ කදරියෝ අවදඤ්ඤූ
මච්ඡරී පේසුනියස්මිං අනුයුත්තෝ

ලෝභයට ගැති වෙමින් – සැදැහෙන් ද තොර වෙමින්
කෑදරව ජීවත් වෙමින් – සදහම් ගැන ද නොසිතමින්
මසුරු වී ලද සම්පතට – කේලාම් ද කියමින්
අනුන් හට නිකරුණේ නින්දා කරයි නම්

667. මුඛදුග්ගවිභූත අනරිය
භූනහු පාපක දුක්කතකාරී
පුරිසන්ත කලි අවජාත
මා බහුභාණිධ නේරයිකෝසි

අහෝ! දූෂිත මුඛයක් ඇති තැනැත්ත,
ළාමක මිනිස, පවිටු තැනැත්ත, තම ගුණද වනසා ගෙන
පව් කරමින් සිටින, අවජාත අසත්පුරුෂය
වළකිනු! බොහෝ දෙඩවිල්ලෙන්
වළකිනු! නිරය ගමනින්

668. රජමාකිරසි අහිතාය
සන්තේ ගරහසි කිබ්බිසකාරී
බහූනි ච දුච්චරිතානි චරිත්වා
ගඤ්ඡිසි ඛෝ පපතං චිරරත්තං

අහෝ! පව් කරන තැනැත්ත,
තමා හට දුක් පිණිස – වගුරුවන්නෙහිද කෙලෙස් දුහුවිළි
ගරහන්නෙහිද ශාන්ත උතුමන් හට
දුසිරිතෙහි යෙදී බොහෝ කොට
දුක් විඳින්නටද සැරසෙන්නේ, වැටෙමින් නිරා වල

669. න හි නස්සති කස්සචි කම්මං
ඉතිහ තං ලභතේ ච සුවාමි
දුක්ඛං මන්දෝ පරලෝකේ
අත්තනි පස්සති කිබ්බිසකාරී

කර්මයන් කිසිවෙකුගේ – අවසන් නොවන්නේ ම යි විපාක නො දී
ඔහුමය එහි හිමිකරුවා – තමා කරන ලද කර්මයෙහි
පව් කරන මෝඩ ජනයා – පරලොව ගිය කලට
තමා විඳිනා දුක තමා හට දකින්නට ලැබෙන්නේ ම යි

670. අයෝසංකුසමාහතට්ඨානං
තිණ්හධාරං අයසූලමුපේති
අථ තත්තඅයෝගුළසන්නිභං
භෝජනමත්ථි තථා පතිරූපං

යකඩයෙන් කරන ලද – නිරයෙහි ඒ තැනැත්තා ඉපදුන විට
සිටුවා තිබේ යකඩ හුල් – තියුණු වූ මුවහතින් යුතු
ගිනිගත් යකඩ ගුලි – බොජුන් ලෙස ඇත එහි ගිලින්නට
මේ සියල්ලම කර්මයට අනුවයි සැදෙන්නේ

671. න හි වග්ගු වදන්ති වදන්තා
නාභිජවන්ති න තාණමුපෙන්ති
අංගාරේ සන්ථතේ සෙන්ති
අග්ගිනිසමං ජලිතං පවිසන්ති

එහි තමා අමතන්නට – මිහිරි බස් ඇති කෙනෙකු නැත්මය
මුදු ලෙස ළඟට නොපැමිණෙත්ම ය – රැකවරණයට කිසිවෙකුත් නැත්මය
ගිනි අඟුරු තුළට රැගෙන යත්මය – මැදි කරති එහි ගිනි දැල්ලට

672. ජාලේන ච ඕනහියානා
තත්ථ හනන්ති අයෝමයකූටෙහි
අන්ධංව තිමිසමායන්ති
තං විතතං හි යථා මහිකායෝ

යකඩ දැළකින් වෙළී යන්නේ – පහර වදිති නිරතුරුවම කුළුගෙඩියෙන්
අන්ධයෙකු ලෙස අඳුරේ යන – එහි ගත කරන ජීවිතය මිහිදුමක් ලෙස පැතිර පවතී

673. අථ ලෝහමයං පන කුම්භිං
අග්ගිනිසමං ජලිතං පවිසන්ති
පච්චන්ති හි තාසු චිරරත්තං
අග්ගිනිසමාසු සමුප්පිලවාසෝ

එහිදී ඒ තැනැත්තා,
යකඩයෙන් කරන ලද – මහා කළයක් ඇතුළට
පැමිණෙන්නේ ය මැදි වෙමින් – මහා ගිනි ජාලාවට
ඒ ගින්න තුළ උඩට යටට ඉල්පෙමින් – පැසෙන්නේමය බොහෝ කල්

674. අථ පුබ්බලෝහිතමිස්සේ
තත්ථ කිං පච්චති කිබ්බිසකාරී
යං යං දිසතං අධිසේති
තත්ථ කිලිස්සති සමඵුසමානෝ

පව් කළ තැනැත්තා – නිරයෙහි උපන් කල
සැරව හා ලෙයින් පිරී ගිය – නිරයක පැසෙන්නේ ම ය
යම් යම් තැනක යන්නේ ද ඔහු – පෙළත්මය ලේ සැරව පහසින්

675. පුළවාවසථේ සලිලස්මිං
තත්ථ කිං පච්චති කිබ්බිසකාරී
ගන්තුං න හි තීරමපත්ථි
සබ්බසමාහි සමන්තකපල්ලා

පණුවන් පිරුණු මඩ වගුරෙක – පැසෙයි නිති පව් කළ තැනැත්තා
නික්මෙන තෙරක් නොමැත්තේමයි – බැලූ බැලූ තෙක් එයම දිස් වෙයි
යකඩින්ම වට කළ බිත්ති අතරේ

676. අසිපත්තවනං පන තිණ්හං
තං පවිසන්ති සමච්ඡිදගත්තා
ජිව්හං බළිසේන ගහෙත්වා
ආරජයා රජයා විහනන්ති

අසිපත් නිරයේ ඉපදුණ විට – තියුණු කඩු වැනි කොළ ඇත
එහිදී සිඳී ගිය අත්පාවලින් යුතු වෙයි
එවිට දිව ඇද බිලී කොකුවෙන් – දැඩි ලෙස තලා පෙළා දමත්මය

677. අථ වේතරණිං පන දුග්ගං
තිණ්හධාර ඛුරධාර මුපෙන්ති
තත්ථ මන්දා පපතන්ති
පාපකරා පාපානි කරිත්වා

පව්කාර මෝඩ ජනයා – මෙහිදී බොහෝ පව් රැස්කොට
තියුණු ගිනි අළු වැටෙනා – දැලි පිහි ලෙසින් කැපෙනා
“වේතරණී” දුර්ගය වෙත – හඬ හඬා ඇද වැටෙත්මයි

678. ඛාදන්ති හි තත්ථ රුදන්තේ
සාමා සබලා කාකෝලගණා ච
සෝණා සිඟාලා පටිගිජ්ඣා
කුලලා වායසා ච විතුදන්ති

එහි හඬා වැටෙන විටදී – කර්මානුරූපව මැවෙනා
කබරයෝ හා වන කවුඩුද
බලු හා කැණහිල්ලු ද – උකුසු හා ගිජු ළිහිණියෝ ද
තියුණු දත් වලින් ඉරා දමමින් – කා දමති ඒ උපන් සත්වයා

679. කිච්ඡා වතායං ඉධ වුත්ති
යං ජනෝ පස්සති කිබ්බිසකාරී
තස්මා ඉධ ජීවිතසේසේ
කිච්චකරෝ සියා නරෝ න පමජ්ජේ

මෙහිදී පව් රැස් කෙරුව මිනිසුන් – ඉපදී සිටින විට නිරයේ
සැබැවින්ම බොහෝ දුක් විඳිත්මය
එනිසා මේ මිනිස් ලොවදී – ඉතිරි ජීවිත කාලය
පවෙන් වැළකී අප්‍රමාදව – ධර්මයෙහි හැසිරිය යුතුමය

680. තේ ගණිතා විදූහි තිලවාහා
යේ පදුමේ නිරයේ උපනීතා
නහුතානි හි කෝටියෝ පඤ්ච භවන්ති
ද්වාදස කෝටි සතානි පුනඤ්ඤා

පව් කළ තැනැත්තා මෙලොවේ – උපන්නේ නම් පදුම නිරයෙහි
ඔවුන්ගේ ආයුෂද – නුවණැත්තන් විසින්
තල බරින් ගණින ලද්දේ
පස් කෝටි නහුතයක් වසරද
දොළොස් කෝටි වර්ෂ සියයකි.

681. යාව දුක්ඛා නිරයා ඉධ වුත්තා
තත්ථාපි තාව චිරං වසිතබ්බං
තස්මා සුචි පේසල සාධු ගුණේසු
වාචං මනං සතතං පරිරක්ඛේති

නිරයේ තිබෙන බොහෝ දුක් ගැන – මෙහිදී කියාදෙන ලදි
නිරයේ උපන් විට කෙනෙක් – බොහෝ දුක් වින්ද යුතු ම ය
එනිසා සුපිරිසිදු ලෙස – සිල් ගුණයෙන්ම සැදෙමින්
මුනිවරු කෙරෙහි යහපත් – තම සිතද වචනයද
නිරතුරුවම රැකගත යුත්තේමය

කෝකාලික සුත්තං නිට්ඨිතං.

කෝකාලික නිසා වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M