ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

3. සුභාසිත සුත්තං

3. ඉතා යහපත් කියුම් ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං.

මේ ආකාරයෙනි මා විසින් අසා දැන ගන්නා ලද්දේ.

ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ….. භගවා ඒතදවෝච.

එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන සේක… භාග්‍යවතුන් වහන්සේ මේ දෙසුම වදාළ සේක.

චතුහි භික්ඛවේ අංගේහි සමන්නාගතා වාචා සුභාසිතා හෝති න දුබ්භාසිතා. අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනං.

“පින්වත් මහණෙනි, අංග හතරකින් යුක්ත වචන ඉතා යහපත් කියුම් බවට පත් වේ. අයහපත් කියුම් බවට පත් නොවේ. වරදින් තොර වේ. බුද්ධිමතුන්ගේ ගර්හාවටද ලක් නොවේ.

කතමේහි චතූහි,

කවර අංග හතරකින්ද යත්,

ඉධ භික්ඛවේ භික්ඛු

පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව

01. සුභාසිතං යේව භාසති, නෝ දුබ්භාසිතං

ඉතා යහපත් දෙය ම පවසයි, අයහපත් දේ නොපවසයි.

02. ධම්මං යේව භාසති, නෝ අධම්මං.

ධර්මය ම පවසයි, අධර්මය නොපවසයි.

03. පියං යේව භාසති, නෝ අප්පියං.

ප්‍රිය මනාප දෙයක් ම පවසයි, අප්‍රිය අමනාප දෙය නොපවසයි.

04. සච්චං යේව භාසති, නෝ අලිකං.

සත්‍යයක්ම පවසයි, අසත්‍යය නොපවසයි.

ඉමේහි ඛෝ භික්ඛවේ චතුහි අංගේහි සමන්නාගතා වාචා සුභාසිතා හෝති න දුබ්භාසිතා. අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනන්ති.

පින්වත් මහණෙනි, මේ කරුණු හතරින් යුක්ත වූ වචන ඉතා යහපත් කියුම් බවට පත්වේ. වරදින් තොර වේ. බුද්ධිමතුන්ගේ ගර්හාවට ලක් නොවේ.”

ඉදමවෝච භගවා, ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙකරුණ ද වදාළ සේක.

452. සුභාසිතං උත්තමමාහු සන්තෝ
ධම්මං භණේ – නාධම්මං තං දුතියං
පියං භණේ – නාප්පියං තං තතියං
සච්චං භණේ – නාලිකං තං චතුත්ථන්ති

“ලොවේ සත්පුරුෂ උතුමෝ,

01. ඉතා යහපත් කියුම් උතුම් යයි පැවසූවෝ

02. සදහම් පැවසීමද, අදහමක් නොම කීමද,
– එහි දෙවන කරුණ වේ.

03. ප්‍රිය බස් දෙඩීමද, අප්‍රිය දේ නොකීමද
– තුන්වැනි කරුණ වේ.

04. සත්‍යයම පැවසීමද, බොරු කිසිත් නොම කීම
– සිව්වැනි කරුණ වේ.

අථ ඛෝ ආයස්මා වංගීසෝ උට්ඨායාසනා ඒකංසං චීවරං කත්වා යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ඒතදවෝච. පටිභාති මං භගවා, පටිභාති මං භගවා’ති.

එවිට ආයුෂ්මත් වංගීස තෙරණුවෝ තමා සිටි අසුනින් නැගිට සිවුර ඒකාංශ කොට පොරවමින්, භාග්‍යවතුන් වහන්සේ වෙත නමස්කාර කරමින් මෙසේ පැවැසූහ.

“භාග්‍යවතුන් වහන්ස, මට මෙකරුණ වැටහේ. භාග්‍යවතුන් වහන්ස, මට මෙකරුණ වැටහේ..” යි.

පටිභාතු තං වංගීසා’ති භගවා අවෝච. අථ ඛෝ ආයස්මා වංගීසෝ භගවන්තං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවි.

“වංගීසයෙනි, වැටහේවා! එකරුණ ඔබට” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එවිට ආයුෂ්මත් වංගීස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඒ මේ දෙසුමට සුදුසු වූ ගාථාවෙන් මෙසේ පැවැසූහ.

453. තමේව භාසං භාසෙය්‍ය යායත්තානං න තාපයේ
පරේච න විහිංසෙය්‍ය සා වේ වාචා සුභාසිතා

කියන යම්කිසි දෙයකින් – තමා හට අවැඩක් නොවේ නම්
අනුන් හට විපතක් නොවේ නම් – සැබැවින්ම එය ඉතා යහපත් කියුමෙකි

454. පියවාචමේව භාසෙය්‍ය යා වාචා පතිනන්දිතා
යං අනාදාය පාපානි පරේසං භාසතේ පියං

යම් බසක් තුටු සිතින් ගත් විට – සිතට සැනසිලි ගෙන දෙයි
එම නිසා පව් වචන දුරු කොට – කිව යුතුය බස් අනුන් පිනවන

455. සච්චං වේ අමතා වාචා ඒස ධම්මෝ සනන්තනෝ
සච්චේ අත්ථේ ච ධම්මේච ආහු සන්තෝ පතිට්ඨිතා

“සත්‍යය” නම් සැබැවින්ම – අමා සැප දෙන වදනකි
“සත්‍යය” සදාතනික ව – ලොවේ පවතින දහමකි
සත්‍යයෙන් හා අර්ථයෙන් යුතු – දහමේ පිහිටි මුනිවරු
නිරතුරුව ඒ දෙයම පැවසූ

456. යං බුද්ධෝ භාසති වාචං – ඛේමං නිබ්බානපත්තියා
දුක්ඛස්සන්තකිරියාය සා වේ වාචානමුත්තමාති

සැනසීම පිරීගිය – නිවන් සුව සලසා දෙන
යම් බසක් පවසත්ද බුදුවරු
හැම දුක් නිමා කරවන – ඒ වචන බුදු සමිඳුගෙ
සැබැවින්ම ලොවේ ඇති – අති උතුම් වචන වේ

සුභාසිත සුත්තං නිට්ඨිතං.

ඉතා යහපත් කියුම් ගැන කළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M