ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

2. පධාන සුත්තං

2. දිවි පුදා වීරිය වැඩූ අයුරු ගැන වදාළ දෙසුම

427. තං මං පධානපහිතත්තං – නදිං නේරඤ්ජරං පති
විපරක්කම්ම ඣායන්තං – යෝගක්ඛේමස්ස පත්තියා

නේරංජර ගං තීරේ – පරදුවටම තබා දිවිය
අමා නිවන ලබනු පිණිස – දැඩි ලෙස වෑයම් කරමින්
නිරතුරුවම සමාධියම – වඩමින් සිටිනා මා වෙත

428. නමුචි කරුණං වාචං – භාසමානෝ උපාගමී
කිසෝ ත්වමසි දුබ්බණ්ණෝ – සන්තිකේ මරණං තව

කරුණාබර බස් කියමින් – වසවත් මරු පැමිණියේය
“අයියෝ! ඔබ දැන් බොහො ලෙස – විරූපී වී ඇත කෙසඟව
සමීපයට පැමිණ සිටී – දැන් නම් ඔබගේ මරණය

429. සහස්සභාගෝ මරණස්ස – ඒකංසෝ තව ජීවිතං
ජීව භෝ ජීවිතං සෙය්‍යෝ – ජීවං පුඤ්ඤානි කාහසි

“මරණය” වෙනුවෙන් ඔබගේ – දහසක් පංගුම පවතී
ජීවත් වන්නට තිබෙන්නේ – එහෙත් එකම පංගුවක්ය
පින්වත, ජීවත් වනු මැන – උතුම් දෙයකි මේ ජීවිතය
ජීවත් වී කළ හැකිමය – ඔබ හට නොයෙකුත් පින්කම්

430. චරතෝව තේ බ්‍රහ්මචරියං – අග්ගිහුත්තඤ්ච ජුහනෝ
පහූතං චීයතේ පුඤ්ඤං – කිම්පධානේන කාහසි

ඔබ ඔය සුරකින බඹසර – සමඟ යාග හෝම කළොත්
රැස් කර ගන්නට පුළුවනි – ඔබටත් ලොකු ලොකු පින්කම්
පරදුවටම තබා දිවිය – ඔබ ගන්නා වෑයමෙන්ද
ඔබට තිබෙන පලේ කිම්ද?

431. දුග්ගෝ මග්ගෝ පධානාය දුක්කරෝ දුරභිසම්භවෝ
ඉමා ගාථා භණං මාරෝ – අට්ඨා බුද්ධස්ස සන්තිකේ

පරදුවටම තබා දිවිය – යන මග නම් අපහසුමය
ඉතාම දුෂ්කර දෙයක්ය – අපහසුමය ඵල නෙළන්ට
බුදු සමිඳුන් ළඟට පැමිණ – මරු කීයේ මෙම ගාථා

432. තං තථාවාදීනං මාරං – භගවා ඒතදබ්‍රවී
පමත්තබන්ධු පාපිම – යේනත්ථේන ඉධාගතෝ

එලෙසින් දොඩනා මරු හට – සමිඳාණෝ මෙසේ කීහ
ප්‍රමාද වූ හැමදෙනාගෙ – මිතුරා වූ පාපිෂ්ඨය
දැන් ඔබ පැමිණියේ මෙතන – ඔය අරමුණ සඳහාමය

433. අණුමත්තේනපි පුඤ්ඤේන – අත්ථෝ මය්හං න විජ්ජති
යේසං ච අත්ථෝ පුඤ්ඤානං – තේ මාරෝ වත්තුමරහති

ඉතාම සුළු පිනෙකින්වත් – මා හට දැන් නොමැත පලක්
යම්කිසි කෙනෙකුට පිනෙකින් – වැඩක් තිබේනම් ඔහු වෙත
එයා ළඟට ගොස් මාරය – සුදුසුය ඔය කතා කීම

434. අත්ථි සද්ධා තථා විරියං – පඤ්ඤා ච මම විජ්ජති
ඒවං මං පහිතත්තම්පි – කිං ජීව මම පුච්ඡසි

මා තුළ මේ කටයුතු ගැන – සද්ධාවද හොඳින් තිබේ
වීරිය හා ප්‍රඥාවද – මා තුළ මැනවින් දිස් වේ
දිවි පුදමින් මේ අයුරින් – මා වෑයම් කරන විටදි
ඇයි ඔබ මට පවසන්නේ – ජීවත් වන්නට කියමින්?

435. නදීනමපි සෝතානි – අයං වාතෝ විසෝසයේ
කිඤ්ච මේ පහිතත්තස්ස – ලෝහිතං නූපසුස්සයේ

මගේ සිරුර පිසදාගෙන – හමමින් යන මේ සුළඟට
වියළවන්ට පුළුවනි අර – ගලා බසින සැඩ පහරද
ඉතින් මාත් දිවි පුදමින් – මෙතරම් වෙර වඩනා විට
කිම, මාගේ ලේ දහරද – එසේ නොයාවිද වියළී?

436. ලෝහිතේ සුස්සමානම්හි – පිත්තං සෙම්හඤ්ච සුස්සති
මංසේසු ඛීයමානේසු – භිය්‍යෝ චිත්තං පසීදති
භිය්‍යෝ සති ච පඤ්ඤා ච – සමාධි මම තිට්ඨති

ලේ දහරත් වියළෙන විට – පිතත් සමඟ සෙම වියළේ
ඇඟ මස් සිඳිලා යනවිට – පහන් වේය සිත බොහොසේ
එවිට වැඩෙයි සිහි නුවණද – පිහිටයි මගේ සමාධියද

437. තස්ස මේවං විහරතෝ – පත්තස්සුත්තමවේදනං
කාමේ නාපෙක්ඛතේ චිත්තං – පස්ස සත්තස්ස සුද්ධතං

වසන විටදි මේ අයුරින් – පරම වේදනාව දැනේ
එවිට තව තවත් මා සිත – නොපතන්නේමය කාමය
බලාගනුව, මේ ලෙස පවතින කෙනෙකුගෙ පිරිසිදු බව!

438. කාමා තේ පඨමා සේනා – දුතියා අරති වුච්චති
තතියා ඛුප්පිපාසා තේ – චතුත්ථි තණ්හා පවුච්චති

පළවෙනි සේනාව ඔබේ – ලොවේ තිබෙන කාමයන්ය
කුසල් දහම්වල නොඇල්ම – සේනාවයි ඔබේ දෙවැනි
තුන්වන සේනාව ඔබේ – පිපාසයයි බඩගින්නයි
ලොවම බැඳෙන තණ්හාවට – සිව්වැනි සේනාව කියයි

439. පඤ්චමී ථීනමිද්ධං තේ – ඡට්ඨා භීරු පවුච්චති
සත්තමී විචිකිච්ඡා තේ – මක්ඛෝ ථම්භෝ තේ අට්ඨමී

අලස බවින් යුතු නිදිමත – පස්වැනි සේනාව ඔබේ
සිතේ හැදෙන බීතභූත – හයවෙනි සේනාව කියයි
සදහම් ගැන ඇතිවෙන සැක – සත්වෙනි සේනා පිරිසය
දැඩිබව හා ගුණමකු බව – අටවැනි සේනාව කියයි

440. ලාභෝ සිලෝකෝ සක්කාරෝ – මිච්ඡා ලද්ධෝ ච යෝ යසෝ
යෝ චත්තානං සමුක්කංසේ – පරේ ච අවජානති

ලාභද පැසසුම් සැළකිලි – බොරුවෙන් ලබනා යසසද
නවවැනි සේනාව නුඹේ
උස්කොට දක්වමින් තමා – අනිත් අයව පහතට ඇද
මානය යැයි කියනු ලැබේ – මේ දසවැනි සේනාවට

441. ඒසා නමුචි තේ සේනා – කණ්හස්සාභිප්පහාරිණී
න තං අසූරෝ ජිනාති – ජෙත්වා ච ලභතේ සුඛං

නමුචි ය කෘෂ්ණ ය කියනා – පාපී මාරය, ඔබගේ
ලොව හැමටම පහර වදින – සේනාවේ බලනු රඟේ
සූර වීර නැති කෙනෙකුට – දිනා ගන්ට නම් නොහැකිය
එහෙත් දිනා ගත් කෙනාට – හැකිය අමා සැප ලබන්ට

442. ඒස මුඤ්ජං පරිහරේ – ධීරත්ථු මම ජීවිතං
සංගාමේ මේ මතං සෙය්‍යෝ – යඤ්චේ ජීවේ පරාජිතෝ

මුදු තණ පත් හිසේ තබා – කියමි සපථ කරමින් මම
කෙලෙස් සහිත සිතකින් යුතු – දිවියට නින්දා වේවා!
කෙලෙස් යුද්ධයෙන් පැරදී – ජීවත් වෙනවාට වඩා
මැරී යාම උතුම්ය මට – මේ කෙලෙසුන් හා සටනින්

443. පගාළ්හා එත්ථ න දිස්සන්ති – ඒකේ සමණබ්‍රාහ්මණා
තං ච මග්ගං න ජානන්ති – යේන ගච්ඡන්ති සුබ්බතා

ඇතැම් ශ්‍රමණ බමුණු පිරිස – හසුවුන විට මර සෙනඟට
සැබෑ ලෙසම පවතින තතු – දැකගන්නට අසමත් වේ
සදහම් පිළිවෙතින් යුතුව – යායුතු යම් මගක් වේද
නොදනිත්මය ඒ හැමදෙන – අමා නිවන් දෙන ඒ මග

444. සමන්තා ධජිනිං දිස්වා – යුත්තං මාරං සවාහිනිං
යුද්ධාය පච්චුග්ගච්ඡාමි – මා මං ඨානා අචාවයි

කොඩිද හාත්පස නංවා – සේනා ඇති මරු පැමිණෙයි
පෙර මග බලමින් මෙහි මම – මරු හා යුදයට පිවිසෙමි
මට හිමි වී තිබෙන තැනින් – කිසිවිට මා නොසැලේවා!

445. යං තේ තං නප්පසහති සේනං ලෝකෝ සදේවකෝ
තං තේ පඤ්ඤාය ගච්ඡාමි ආමං පත්තංව අස්මනා

ලෝකේ දෙව් මිනිසුන් හට – නොහැකිය මැඬලන්නට නම්
ඒ තොපගේ මාර සෙනඟ
එහෙත් දියුණු කළ නුවණින් – මැඬලමි මම මාරසෙනඟ
කළුගලකින් හොඳින් මඬින – අමු වූ මැටි පිඬක් විළස

446. වසිං කරිත්වා සංකප්පං – සතිං ච සුප්පතිට්ඨිතං
රට්ඨා රට්ඨං විචරිස්සං – සාවකේ විනයං පුථු

හැම සිතිවිලි දමනය කොට – මැනවින් පිහිටුවා සිහිය
සැරි සරමින් යන්නෙමි මා – හැම ගමටම හැම රටටම
හික්මවන්නෙමී දහමේ – පින්වත් ශ්‍රාවක ජනයා

447. තේ අප්පමත්තා පහිතත්තා – මම සාසනකාරකා
අකාමස්ස තේ ගමිස්සන්ති – යත්ථ ගන්ත්වා න සෝචරේ

මා කියනා දෙය අසමින් – ඒ අයුරින් හික්මෙනු ඇත
නොපමාවෙන් වසන ඔවුන් – පරදුවටම තබා දිවිද
මහත් වීරියක් අරගෙන – නිවන් මගේ බැසගනු ඇත
යම් තැනකට පැමිණුන විට – සෝක තැවුල් කිසිත් නැතිද
“නිවන” නමින් යුතු එතැනට – ඔවුන් සියළු දෙන යත්මය

448. සත්තවස්සානි භගවන්තං – අනුබන්ධිං පදා පදං
ඕතාරං නාධිගච්ඡිස්සං – සම්බුද්ධස්ස සතීමතෝ

(මාරයා)

සත් වසරක් මුළුල්ලේම – තබනා හැම පියවරක්ම
සමිඳාණන්ගේ පසුපස – හඹාගිය නමුත් කිසිවිට
නොම හැකිවිය අල්ලගන්ට – කිසිම අයුරකින්ම දොසක්
මැනවින් සිහි නුවණ තිබෙන – ඒ බුදු සමිඳාණන් තුළ

449. මේදවණ්ණංව පාසාණං – වායසෝ අනුපරියගා
අපෙත්ථ මුදු වින්දේම – අපි අස්සාදනා සියා

“මේද තෙලේ පාටින් යුතු – ගල් කුලකට දැක රැවටී
මෘදු බවකින් යුතු මෙහි ඇති – රසවත් බව විඳ ගන්නෙමු
සොම්නස අපි ලබාගනිමු – කියමින් අප සිතට අරන්
ඒ ගල වට කරකැවෙමින් – සිටිනා කපුටෙක් විලසින්”

450. අලද්ධා තත්ථ අස්සාදං – වායසෙත්තෝ අපක්කමි
කාකෝව සේලං ආසජ්ජ – නිබ්බිජ්ජාපේම ගෝතමං

ලබා ගන්ට බැරි වූ විට – සිතා ගත්ත කිසි සතුටක්
ඒ ගල්කුල මතම හැපී – පියඹා ඈතට ඉගිලුන
කපුටු මෝඩයෙක් විලසේ – මමත් ගොසින් හැප්පෙන්නට
ගෞතමයන් සමඟ මෙසේ – පැරද පලායන්නෙමු අපි

451. තස්ස සෝකපරේතස්ස – වීණා කච්ඡා අභස්සථ
තතෝ සෝ දුම්මනෝ යක්ඛෝ – තත්ථේවන්තරධායථාති

සෝක සිතින් මඩනා ලද – ඒ මරුගේ කිසිල්ලෙන්ද
වීණාව වැටුනා ගිලිහී!
දුෂ්ට වූ සිතින් යුතු වූ – ඒ පව් ඇති යක්ෂ තෙමේ
අතුරුදහන් වුණා එහිම.

පධාන සුත්තං නිට්ඨිතං.

දිවි පුදා වෙර වැඩූ අයුරු ගැන වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M