ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

9. කිංසීල සුත්තං

9. සීලය කුමක්දැයි වදාළ දෙසුම

326. කිංසීලෝ කිංසමාචාරෝ කානි කම්මානි බ්‍රෑහයං
නරෝ සම්මා නිවිට්ඨස්ස උත්තමත්ථංච පාපුණේ

(සැරියුත් තෙරණුවෝ)

යම් කෙනෙකු මනා කොට – දහම තුළ සිත පිහිටුවාගෙන
උතුම් වූ අමනිවන ට – යන මග ද පාදා දෙන
රැක්ක යුතු සීලය කුමක් වෙ ද?
පුරුදු කළ යුතු දේ කුමක් වෙ ද?
කරන වැඩ කටයුතු කුමක් වෙ ද
සුවාමිනි, පැවසුව මැන.

327. වුද්ධාපචායි අනුසුය්‍යකෝ සියා
කාලඤ්ඤූ චස්ස ගරුනං දස්සනාය
ධම්මිං කථං ඒරයිතං ඛණඤ්ඤූ
සුණෙය්‍ය සක්කච්ච සුභාසිතානි

(භාග්‍යවතුන් වහන්සේ)

වැඩිහිටියන්ව පුදනා – ඉරිසියාවෙන් මිදෙනා
සුදුසු කල් දැන හඳුනා – ගුරුවරුන් බැහැ දකිනා
ලද මොහොතෙ වටිනාකම – මනාකොට හඳුනාගෙන
කරන සදහම් කථාවෙන් – බුදුරජුන්ගේ ධර්මය ම
මැනැවින් අසා ගන්නේ

328. කාලේන ගච්ඡේ ගරුනං සකාසං
ථම්භං නිරංකත්වා නිවාතවුත්ති
අත්ථං ධම්මං සංයමං බ්‍රහ්මචරියං
අනුස්සරේ චේව සමාචරේ ච

බැහැර කොට දරදඬුකම – ඇතිකොටගෙන යටහත් කම
සුදුසු කල් හොඳින් දැනගෙන – තම ගුරුවරුන් වෙත යන
බුදුරජුන්ගේ දහම දැනගෙන – සංවරය ඇති කරගෙන
බඹසර සිල් ද රැකගෙන – සිහි කරයි හේ ධර්මය
පුහුණු වෙයි නිරතුරුව ම

329. ධම්මාරාමෝ ධම්මරතෝ
ධම්මේ ඨිතෝ ධම්මවිනිච්ඡයඤ්ඤූ
නෝ වාචරේ ධම්මසන්දෝසවාදං
නීයේථ තච්ඡේහි සුභාසිතේහී

ධර්මයෙහි රැඳෙනා හේ – ධර්මයට ඇලෙමින් සිටින්නේ
ධර්මය තුළම සිටිමින් – දැහැමි ලෙස තීරණ ද ගනිමින්
දහම කිළිටි වන ලෙස – කිසි කථාවක් නො කියයි
ගෙවයි හේ හැමවිටම – සැබෑ වූ බුදුදහම කියමින්

330. හස්සං ජප්පං පරිදේවං පදෝසං
මායාකතං කුහකං ගිද්ධිමානං
සාරම්භකක්කසකසාව මුච්ඡං
හිත්වා චරේ වීතමදෝ ඨිතත්තෝ

ඒ භික්ෂුව තුළ,
බොළඳ හසරැළි නිසරු කතාබහ
ද්වේෂ සහගත දොස් පරොස් හඬා වැළපෙන බණ
කුහක ලෙස රැවටීම ද
දුරු කොට සියළු මානය
එකට එක පැවසීම ද බැහැර කරලන්නේ
කාමයෙන් මුසපත් වීම ද දුරින්ම දුරු කරන්නේ
නිහතමානී වී ධර්මය තුළම පිහිටා
දහම තුළ සිත පවත්වන්නේ

331. විඤ්ඤාතසාරානි සුභාසිතානි
සුතංච වඤ්ඤාතසමාධිසාරං
න තස්ස පඤ්ඤා ච සුතං ච වඩ්ඪති
යෝ සාහසෝ හෝති නරෝ පමත්තෝ

බුදුරජුන්ගේ සුභාෂිත ධර්මය – කියා දෙයි ජීවිතේ සාරය
දහම් දැනුමින් යුතු කෙනා – ලබයි ජීවිතේ සාරය
එනමුදු යමෙක් සැහැසි විලසින් ගතකොට – ධර්මයෙහි පමා වෙත් නම්
නො වැඩෙන්නේ ය ඔහු තුළ – දහම් දැනුම ද නුවණ ද

332. ධම්මේ ච යේ අරියප්පවේදිතේ රතා
අනුත්තරා තේ වචසා මනසා කම්මනා ච
තේ සන්තිසෝරච්චසමාධිසණ්ඨිතා
සුතස්ස පඤ්ඤාය ච සාරමජ්ඣගූති.

මුනිවරුන් දෙසන ලද – ඒ උතුම් සද්ධර්මය
යම් කෙනෙක් හොඳින් දැනගෙන – එහි ඇලෙමින් වසත් නම්
සිත, කය, වචනයෙන් – ඔවුන් උත්තම බවට පත් වෙති
නිවන් මග තුළ හික්මෙන – සමාධිය තුළ පිහිටන
දහම් දැනුමින් යුතු – වහා වැටහෙන නුවණකින් යුතු
ඒ සියළු දෙන ලොවේ – ලැබ ගනිත්මයි අමනිවන් සාරය

කිංසීල සුත්තං නිට්ඨිතං.

සීලය කුමක්දැයි වදාළ දෙසුම නිමා විය.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M