නැගී සිටිව් අලසකමින් – බවුන් වඩව් හිඳ ගනිමින්
කවර සෙතක් වේ ද තොපට – නින්දේ ගැලෙමින් සිටි විට
හුල් පහරින් වද – විඳිමින් හැම විට
දුක් ඇති ලෙඩෙකුට – නින්දක් කුමට ද?
නැගී සිටිව් අලසකමින් – බවුන් වඩව් හිඳ ගනිමින්
නිවන් පිණිස – හික්මෙව් දැඩි ලෙස
තොප ගේ පමා බව – පවිටු මරු හඳුනාගෙන
තොපව අරගෙන වසඟෙට – මුළාවට පත් නො කෙරේවා!
සෙත සැලසෙතැ’යි සිතමින් – දෙවියෝ ද මිනිස්සු ද
නැවතී සිටිත් – අරමුණු වල ම
වහ වහා එතෙර වී යව් – මේ රුදුරු තණ්හාවෙන්
දුලබ ව ලද මොහොත – තොපගෙන් බැහැර නොවේවා!
මේ මොහොත මග හැරී ගිය විට –
නිරයේ ඉපිද බොහො දෙන පත්වෙත් ශෝකයට
කිලුටකි පමා බව – පමාවෙන් හට ගත් පමාව ද කිලුටකි
නොපමා බවේ සිට – නුවණ ද උපදවා ගත්
නැණවතා පමණ ම ය – කෙලෙස් හුල උදුරා දමන්නේ
නැගී සිටීම ගැන වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M