ඛුද්දක නිකාය

සුත්ත නිපාතෝ

5. සූචිලෝම සුත්තං

5. සූචිලෝම යකු නිසා වදාළ දෙසුම

ඒවං මේ සුතං.

මේ ආකාරයෙනි මා විසින් අසන ලද්දේ.

ඒකං සමයං භගවා ගයායං විහරති ටංකිතමඤ්චේ සූචිලෝමස්ස යක්ඛස්ස භවනේ. තේන ඛෝ පන සමයේන ඛරෝ ච යක්ඛෝ සූචිලෝමෝ ච යක්ඛෝ භගවතෝ අවිදූරේ අතික්කමන්ති.

එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ගයාවෙහි “ටංකිතමඤ්ච” නම් වූ සූචිලෝම (ඉඳිකටු ලොම් ඇති) යකුගේ භවනෙහි වැඩවසන සේක. එකල්හි “ඛර” නම් වූ යකු ද, සුචිලෝම යකු ද භාග්‍යවතුන් වහන්සේ ට නුදුරින් (උන්වහන්සේ) පසුකරමින් යන්නට වූහ.

අථ ඛෝ ඛරෝ යක්ඛෝ සූචිලෝමං යක්ඛං ඒතදවෝච.

එවිට ඛර නම් යකු සුචිලෝම යකු ට මෙසේ කීවේ ය.

ඒසෝ සමණෝ’ති.

“මොහු ශ්‍රමණයෙකි” යි.

නේසෝ සමණෝ; සමණකෝ ඒසෝ.

“මොහු ශ්‍රමණයෙක් නොවේ; ශ්‍රමණ වේශයෙන් සිටින කෙනෙකි මොහු.”

යාව ජානාමි; යදි වා සෝ සමණෝ, යදි වා සමණකෝ’ති.

“එසේ නම් දැනගන්නෙමි; එක්කෝ මොහු ශ්‍රමණයෙක් ද, නැති නම් ශ්‍රමණ වේශයෙන් සිටින කෙනෙක් දැ”යි.

අථ ඛෝ සූචිලෝමෝ යක්ඛෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතෝ කායං උපනාමේසි.

ඉක්බිති සූචිලෝම යකු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයට සමීප වූයේ ය.

අථ ඛෝ භගවා කායං අපනාමේසි.

එවිට භාග්‍යවතුන් වහන්සේ තම ශරීරය මෑතට ගත් සේක.

අථ ඛෝ සූචිලෝමෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච.

ඉක්බිති සූචිලෝම යකු භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.

භායසි මං සමණා’ති.

“ශ්‍රමණය ඔබ මට භයයි නේද?”

නඛ්වාහන්තං ආවුසෝ භායාමි අපි ච තේ සම්ඵස්සෝ පාපකෝ’ති.

“ආයුෂ්මත, මම වනාහි ඔබට භය නොවන්නෙක්මි. එනමුත් ඔබගේ පහස නම් කර්කෂය.”

පඤ්හං තං සමණ පුච්ඡිස්සාමි. සචේ මේ න ව්‍යාකරිස්සසි, චිත්තං වා තේ ඛිපිස්සාමි; හදයං වා තේ ඵාලෙස්සාමි; පාදේසු වා ගහෙත්වා පාරගංගාය ඛිපිස්සාමී’ති.

“ශ්‍රමණය, මම ඔබගෙන් ප්‍රශ්න අසන්නෙමි. ඉදින් ඔබ මට පිළිතුරු නො දෙන්නෙහි නම්, ඔබේ සිත හෝ පෙරළා දමන්නෙමි; හදවත හෝ පලා දමන්නෙමි; පා වලින් රැගෙන හෝ ගඟින් එතෙරට වීසිකර දමන්නෙමි.”

න ඛ්වාහං තං ආවුසෝ පස්සාමි, සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය, යෝ මේ චිත්තං වා ඛිපෙය්‍ය; හදයං වා ඵාලෙය්‍ය; පාදේසු වා ගහෙත්වා පාරගංගාය ඛිපෙය්‍ය; අපි ච ත්වං ආවුසෝ පුච්ඡ යදාකංඛසී’ති.

“ආයුෂ්මත, එබඳු කෙනෙකු මම නම් නොදකිමි. දෙවියන් සහිත ලෝකයේ, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණබමුණන් සහිත, දෙව් මිනිස් ප්‍රජාව තුළ මාගේ සිත හෝ පෙරළා දැමිය හැකි කෙනෙකු; හදවත හෝ පලා දැමිය හැකි කෙනෙකු; පා වලින් ගෙන ගඟින් එතෙරට වීසිකර දැමිය හැකි කෙනෙකු; එසේ නමුත් ආයුෂ්මත, යමක් අසන්නට කැමති නම් එය අසා දැන ගන්න.”

අථ ඛෝ සූචිලෝමෝ යක්ඛෝ භගවන්තං ගාථාය අජ්ඣභාසි.

එවිට සූචිලෝම යකු භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙකින් සැලකළේ ය.

272. රාගෝ ච දෝසෝ ච කුතෝ නිදානා?
අරතී රතී ලෝමහංසෝ කුතෝජා?
කුතෝ සමුට්ඨාය මනෝ විතක්කා
කුමාරකා ධංකමිවොස්සජන්ති

(ප්‍රශ්න)

රාගයත් ද්වේශයත් හටගන්නේ කොතැනින්ද?
දහමේ සිත නො ඇල්ම ද – කාමයෙහි ඇති ඇල්ම ද
ලොමු දහ ගැනීම ද – කොතැනින් ද උපදින්නේ?
කුඩා දරුවන් කපුටන්ගේ පා බැඳ
නූල ළඟ තබාගෙන – උන් මුදාහරින ලෙස
මේ මනෝ විතර්කයන් – හට ගන්නේ කොතැනින්ද?

273. රාගෝ ච දෝසෝ ච ඉතෝ නිදානා
අරතී රතී ලෝමහංසෝ ඉතෝජා
ඉතෝ සමුට්ඨාය මනෝ විතක්කා
කුමාරකා ධංකමිවොස්සජන්ති

(පිළිතුරු)

රාගයත් ද්වේශයත් හට ගන්නේ මෙතැනින් ය
දහමේ සිත නො ඇල්ම ද – කාමයෙහි ඇති ඇල්ම ද
ලොමු දහ ගැනීම ද – මෙතැනින් ය උපදින්නේ
කුඩා දරුවන් කපුටන් ගෙ පා බැඳ
නූල ළඟ තබාගෙන – උන් මුදාහරින ලෙස
මේ මනෝ විතර්කයන් – හට ගන්නේ මෙතැනින් ය

274. ස්නේහජා අත්තසම්භූතා
නිග්‍රෝධස්සේව ඛන්ධජා
පුථු විසත්තා කාමේසු
මාලුවා’ව විතතා වනේ

සෙනෙහසින් උපදින, – තමා තුළ එය මතුවන
අතුවලින් පැළ වුණ – මහා නුගයක් විලස දිස්වුණ
කාමයන් ගැන බොහෝ – සිටිත්ම ය විකල් වී
පැතිර ගිය වනය තුළ – මාලුවා වැල විලස

275. යේ නං පජානන්ති යතෝ නිදානං
තේ නං විනෝදෙන්ති සුණෝහි යක්ඛ
තේ දුත්තරං ඔඝමිමං තරන්ති
අතිණ්ණපුබ්බං අපුනබ්භවායා’ති.

යමෙක් දැන ගනිත් නම් – කෙලෙස් හට ගන්න මුල
දුරු කරති ඔවුන් එය – අසා ගනු යකුනි මෙය
යළි භවය නොවන ලෙස – කලින් තරණය නොකළ
දුක සේ තරණය කළ යුතු – මේ තණ්හා සැඩ දියකඳ
ඔවුන් ය තරණය කරන්නෙ

සූචිලෝම සුත්තං නිට්ඨිතං.

සූචිලෝම යකු නිසා වදාළ දෙසුම නිමා විය.

(මේ දෙසුම අවසානයේ ඒ යකුන් දෙදෙනාම නිවන් මඟට පැමිණුනාහ.)

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M