මා විසින් මෙසේ අසා දැනගන්නා ලදී.
එකල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර දෙව්රම නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි ය. එහිදී එක්තරා දෙවියෙක් මැදියම් රැයෙහි මනස්කාන්ත පැහැයෙකින් යුතුව මුළු දෙව්රම බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එක් පසෙකින් සිටියේ ය. එක් පසෙකින් සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීවේය.
ගෞතම සුවාමිනි, පැණයක් අසමි මම
පිරිහෙන කෙනා දත යුතු ම ය ලොවේ සැම
ආවෙමි අසා දැනගන්නට කරුණ මෙම
පවසනු මැනව, ලොව පිරිහෙන කරුණු කිම?
(භාග්‍යවතුන් වහන්සේ)
සුවසේ දත හැකිය යහපත වෙත යන්නා
එලෙසම දත හැකිය මෙලොවේ පිරිහෙන්නා
දියුණුව පෙනේ වෙත දහමේ හැසිරෙන්නා
පිරිහී යයි ලොවේ දහමට ගරහන්නා
(දෙවියා)
පිරිහෙන පළමු හේතුව අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
පිරිහෙන දෙවන කරුණ ද දැනුමට රිසිමු
වදහළ මැනැව, අදරින් ඉල්ලා සිටිමු
(භාග්‍යවතුන් වහන්සේ)
දුදනන් ඇසුර ඔහු හට ප්‍රිය මනාප ය
සුදනන්ගේ ඇසුර ගැන නැත මනාප ය
දුදනන්ගේ ම දහමට හරි මනාප ය
මෙලෙසින් ලැබ ගනී දිවියේ විලාප ය
(දෙවියා)
පිරිහෙන දෙවන හේතුව අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි අපි පිළිගතිමු
පිරිහෙන තෙවන කරුණ ද දැනුමට රිසිමු
වදහළ මැනැව, අදරින් ඉල්ලා සිටිමු
(භාග්‍යවතුන් වහන්සේ)
නිතර ම නිදන – පිරිසෙහි සිත ඇලුන කෙනා
අලසව හිඳියි – වෙර වීරිය බිම හැලෙනා
නපුරුව අනුන් ගැන සිත තුළ වෙර බැඳුණු
හඳුනාගත හැකිය පිරිහෙන මෙම ලකුණු
(දෙවියා)
පිරිහෙන තෙවන හේතුව අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි, අපි පිළිගතිමු
සිව්වන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනැව, අදරින් ඉල්ලා සිටිමු
(භාග්‍යවතුන් වහන්සේ)
රැස් කොට ධනය සුවසේ කල් ගෙවන කෙනා
ගොස් වයසට සිටින මව් පිය නොම සොයනා
දුක් පිරි සැපත නැති දිවියට ඉඩ හරිනා
ලක් වේ පිරිහුමට මොහු දිවියේ හඬනා
(දෙවියා)
සිව්වන කරුණ පිරිහීමට දැන ගතිමු
පින්වත් භගවතාණෙනි, අපි පිළිගතිමු
පස්වන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනැව, අදරින් ඉල්ලා සිටිමු
(භාග්‍යවතුන් වහන්සේ)
එන විට නිවස වෙත බමුණෙකු පිහිට පතා
සමණෙකු වඩින විට ඔහු හොඳ කෙනෙකු සිතා
සිඟමන පිණිස පැමිණෙන විට දුකින් ඉතා
රැවටුම මොවුන් බොරුවෙන් පිරිහෙනු නියතා
(දෙවියා)
පස්වන කරුණ පිරිහෙන අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි, අපි පිළිගතිමු
හයවන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනැව, අදරින් ඉල්ලා සිටිමු
(භාග්‍යවතුන් වහන්සේ)
රැස් කොට මුතු මැණික් කහවණු පොදි බැන්ද
සිත් සේ රස බොජුන් පිනවන මන නන්ද
මත් වී හුදෙකලාවේ එය රස වින්ද
ලක් වේ පිරිහුමට මොහු දුක වෙත බැන්ද
(දෙවියා)
හයවන කරුණ පිරිහෙන අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි, අපි පිළිගතිමු
සත්වන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනැව, අදරින් ඉල්ලා සිටිමු
(භාග්‍යවතුන් වහන්සේ)
ජාතිය ධනය ගැන ඉහළින් හිතාගෙන
කුල ගොත් වලින් හිස තද කොට වෙළාගෙන
සිතමින් නෑ සියන් හැම බිම හෙළාගෙන
සිටිනා මොහුව පිරිහී යයි දිනෙන් දින
(දෙවියා)
සත්වන කරුණ පිරිහෙන අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි, අපි පිළිගතිමු
අටවන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනැව, අදරින් ඉල්ලා සිටිමු
(භාග්‍යවතුන් වහන්සේ)
ගැහැණුන් වෙත බැඳී ලොල් වී මත් වතුර
සූදුව පිණිස කැප කරමින් දිවි යතුර
ලද ලද සියලු දෙය වනසන විස කතුර
ඔහු ළඟ තිබේ පිරිහී යන සැඩ වතුර
(දෙවියා)
අටවන කරුණ පිරිහෙන අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි, අපි පිළිගතිමු
නවවන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනැව, අදරින් ඉල්ලා සිටිමු
(භාග්‍යවතුන් වහන්සේ)
සිය අඹු සමඟ තුටුවනු නොහැකිව හඬන
වෙසඟන පහස සොයමින් යන සිත බැඳෙන
පර’ඹුන් අතර නිතර ම ගැවසී වෙසෙන
පිරිහී යාම නියතයි මොහු ලොව සිටින
(දෙවියා)
නවවන කරුණ පිරිහෙන අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි, අපි පිළිගතිමු
දසවන කරුණ පිරිහෙන දැන ගනු රිසිමු
වදහළ මැනැව, අදරින් ඉල්ලා සිටිමු
(භාග්‍යවතුන් වහන්සේ)
පෙමකට සුදුසු කල ගිය විට අතීතෙට
ලැම ඇති තිඹිරි පල වැනි රුව අගේ කොට
දැරියක රැගෙන නොනිදන ඉරිසියාවට
යනු ඇත මොහු ද පිරිහී යන කලාවට
(දෙවියා)
දසවන කරුණ පිරිහෙන අද දැන ගතිමු
පින්වත් භගවතාණෙනි, අපි පිළිගතිමු
එකොළොස්වන කරුණ මෙහි දැන ගනු රිසිමු
වදහළ මැනැව, අදරින් ඉල්ලා සිටිමු
(භාග්‍යවතුන් වහන්සේ)
ලොල් වී කම් සැපට හැම වියදම් කරන
මිනිහෙකු ගැහැණියක හෝ ලොව මුලට එන
නිසි ලෙස රකිනු බැරි ලෙස දිවි ගත කරන
පිරිහීමකට මුල් වේ ලොව මෙම කරුණ
(දෙවියා)
එකොළොස්වන කරුණ පිරිහෙන දැන ගතිමු
පින්වත් භගවතාණෙනි, අපි පිළිගතිමු
පිරිහෙන දොළොස් වන දෙය දැන ගනු රිසිමු
වදහළ මැනැව, අදරින් ඉල්ලා සිටිමු
(භාග්‍යවතුන් වහන්සේ)
නැති බැරි කෙනෙකු රජ කුලයක ඉපදීමෙන්
කුල මානයෙන් ආසාවෙන් මත් වීමෙන්
පැතුවිට රජ පුටුව ඉහළට හිත යාමෙන්
අවසන් වේ ය ඔහුගේ දිවි පිරිහීමෙන්
පිරිහෙන මෙම කරුණු දැන ලොව නුවණ ඇති
බුදුබණ ඉගෙන හඳුනාගෙන වඩන රුති
සැලසෙන සැපත ලැබගෙන ඉත සිත කැමති
යනු ඇත සොඳුරු ලොවකට හැම සැපත ඇති
පිරිහෙන පුද්ගලයා ගැන වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M