මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයෙහි දකුණු කඳුකරයෙහි බ්‍රාහ්මණ කුලීනයන් ගේ ඒකනාලා නම් ගමෙහි වැඩ වසන සේක. එසමයෙහි කසීභාරද්වාජ නම් බ්‍රාහ්මණයෙකු ගේ කුඹුර සී සෑම පිණිස නඟුල් පන්සියයක් පමණ යොදවා තිබුණේ ය.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේ සිවුරු හැඳ පොරවා ගෙන සිවුරත් පාත්‍රයත් රැගෙන කසීභාරද්වාජ බ්‍රාහ්මණයා ගේ සී සාන තැන පිහිටි දෙසට වැඩම කළ සේක. ඒ මොහොත වනාහී කසීභාරද්වාජ බ්‍රාහ්මණයා ගේ (සී සාන පිරිසට) ආහාර බෙදන වේලාව ය. භාග්‍යවතුන් වහන්සේ ද එම ආහාර බෙදන තැනට වැඩම කළ සේක. වැඩම කොට එකත්පස්ව සිටි සේක. පිඬු පිණිස වැඩම කොට සිටියා වූ භාග්‍යවතුන් වහන්සේව කසීභාරද්වාජ බ්‍රාහ්මණයා දුටුවේ ය. එසේ දැක භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය.
එම්බා ශ්‍රමණය, මම වනාහී සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කරන කෙනෙක් වෙමි. ඔබ ද ශ්‍රමණය සී සෑ යුත්තේ ය. වැපිරිය යුත්තේ ය. සී සෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කළ යුත්තේ ය.
පින්වත් බ්‍රාහ්මණය, මම ද සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කරන කෙනෙක් වෙමි.
අපි වනාහී පින්වත් ගෞතමයන් ගේ (සී සාන වපුරන) විය ගසක් හෝ නඟුලක් හෝ කෙවිටක් හෝ ගවයන් හෝ නො ම දකින්නෙමු. එසේ වී නමුත් පින්වත් ගෞතමයාණෝ, මෙසේ පවසන්නාහු ය. බ්‍රාහ්මණය, මම ද සීසාන කෙනෙක් වෙමි. වපුරන කෙනෙක් වෙමි. සීසෑම් ද කොට වැපිරීම් ද කොට අනුභව කරන කෙනෙක් වෙමි යි කියා ය. එකල්හී කසීභාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ කීවේ ය.
පවසන නමුදු ඔබ ගොවියෙකු කියා අද
අපි නොම දකිමු ගොවිතැන ඔබගේ සබඳ
දැනගනු කැමති වෙමු අපි ඔබෙ ගොවිතැන ද
පවසනු මැනවි අප හට එය කෙලෙසක ද?
(භාග්‍යවතුන් වහන්සේ)
බිජුවට සැදැහැ විය – වැසි දහර ය තපස
නුවණ ද මගේ – නගුල හා වියගස විලස
නගුලිස ලැජ්ජාව විය – රැහැනය මනස
හී වැල හා කෙවිට සලකනු සතිය ලෙස
කය හා වචනය ද මම රැකගෙන සිටිමි
දැනගෙන පමණ අහර ද අනුභව කරමි
යහපත හැඳින නිදුකින් දිවි සතපවමි
සලසන සැපත හඳුනාගෙන මම මිදෙමි
වීරිය මගේ බර උසුලන දරන දෙය
යොමු වී තිබෙන්නේ අම නිවන ම වෙත ය
යයි කිසි තැනක නැවතීමක් නැතිව එය
ගිය විට ඒ තැනට ඇති නොවේ ශෝකය
මාගේ සී සෑම කෙරුවේ මේ ලෙසය
ඒ සී සෑම තුළ ලැබුණේ අමපලය
මේ ලෙසින් සී සෑම කල විට
හැම දුකින් අත් මිදෙයි එම විට
එවිට කසීභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ ලොකු රන් බඳුනකට කිරි බතක් වඩා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වීය. “පින්වත් ගෞතමයන් වහන්සේ අමා පල ලබාදෙන සී සෑම කරන හෙයින් පින්වතාණන් ද ගොවියෙක් ම ය” යි.
(භාග්‍යවතුන් වහන්සේ)
වළඳනු සුදුසු නැත ගීයෙන් ලද බොජුන
සිරිත ද නොවේ කෙනෙකුට දහමේ රැඳුන
බුදුවරු නොවළඳති ගීයෙන් ලද බොජුන
සලකුණු බමුණ මෙය දහමකි ලොව සැදුන
පිරිපුන් ගුණ දමින් සපිරුනු උතුමන්ට
සන්සුන් ගති දරණ නිකෙලෙස් රහතුන්ට
අහරින් පැනින් ඒ උතුමන් සලකන්ට
සුදුසු ය බමුණ පින් කෙත හඳුනාගන්ට
“පින්වත් ගෞතමයන් වහන්ස, එසේ නම් මේ කිරිබත මම කවර කෙනෙකුට දෙම් ද?”
“බ්‍රාහ්මණය, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ – බමුණන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ යමෙකුට ඒ කිරිබත වැළඳූ විට මනාකොට දිරවන්නේ වේ ද, තථාගතයන් වහන්සේ නමක් හෝ තථාගත ශ්‍රාවකයෙක් හැර වෙන කිසිවෙකු නොම දකිමි. බ්‍රාහ්මණය, එසේ නම් ඔබ මේ කිරිබත රැගෙන නිල් තණ නොමැති තැනෙක හෝ දමව. ප්‍රාණීන් රහිත ජලයෙහි හෝ පා කොට හරව” යි.
එවිට කසීභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ ඒ කිරිබත ප්‍රාණීන් රහිත ජලයෙහි පා කොට හැරියේ ය. එවේලෙහි ජලයේ දැමූ ඒ කිරිබත ‘චිටි චිටි – චිටි චිටි’ යන හඬින් යුතුව දුම් දමන්නට විය. බොහෝ සෙයින් දුම් දමන්නට විය. දවසක් මුළුල්ලේ රත් වූ හී වැලක් ජලයට දැමූ විට ‘චිටි චිටි – චිටි චිටි’ යන හඬින් දුම් දමන්නේ, බොහෝ සෙයින් දුම් දමන්නේ යම් සේ ද, එසෙයින් ම ජලය දැමූ ඒ කිරිබත ද ‘චිටි චිටි – චිටි චිටි’ යන හඬින් යුතුව දුම් දමන්නට විය. බොහෝ සෙයින් දුම් දමන්නට විය.
එවිට කසී භාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ සංවේගයට පත්ව ලොමු දහ ගැනුනේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් අසල සිරසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.
“පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා සොඳුරු ය. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා සොඳුරු ය.
යටට හැර වූ යමක් උඩට හරවා තබන්නේ යම් සේ ද, සැඟ වී තිබූ දෙයක් මතුකොට දක්වන්නේ යම් සේ ද, මංමුළා වූ කෙනෙකුට හරි මග පෙන්වා දෙන්නේ යම් සේ ද, ඇස් ඇත්තෝ රූප දකින්නාහ’යි අඳුරේ තෙල් පහනක් දරන්නේ යම් සේ ද, එසෙයින් ම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් සද්ධර්මය ප්‍රකාශ කරන ලදී.
ඒ මම ද පින්වත් ගෞතමයන් වහන්සේ සරණ යමි. සද්ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ යමි.
මම පින්වත් ගෞතමයන් වහන්සේගේ සමීපයේ පැවිදි බව ලබම්වා! උපසම්පදාව ද ලබම්වා!” යි.
කසීභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේ පැවිදි බව ලැබුවේ ය. උපසම්පදාව ද ලැබුවේ ය. පිරිසෙන් වෙන්ව හුදෙකලාවේ ම අප්‍රමාවදීව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව තමා ගොඩ නැගූ ලෝකය අත්හැර දමා වාසය කිරීම පිණිස, යම් කුල පුත්‍රයෙක් යම් අර්ථයක් පිණිස ගිහිගෙයින් නික්ම මනාකොට පැවිද්දට පැමිණෙත් ද, උපසම්පදාව ලද නොබෝ කලකින් ආයුෂ්මත් භාරද්වාජයන් ද තමා තුළ ඇති කරගත් අවබෝධ ඤාණයෙන් උතුම් පැවිදි ජීවිතයේ එක ම අරමුණ වූ ඒ අර්හත්වය මේ ජීවිතයේදී ම සාක්ෂාත් කොට ඊට පැමිණ වාසය කෙළේය.
(මෙසේ) යළි යළි ඉපදෙන ස්වභාවය අවසන් වී ගියේය. උතුම් ජීවිතයක් ගත කරන ලදී. නිවන් පිණිස කළ යුතු වූ හැම දෙය ම කරන ලදී. ජීවිතයේ දුක සකස් වීමක් යළි කිසිදා නැතැ’යි මනාව අවබෝධ කරන ලද්දේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වූහ.
සී සාන භාරද්වාජ නිසා වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M