මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ අලව් නුවර අලව් යකු ගේ වාස භවනෙහි වැඩ සිටි සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ වෙත අලව් යකු පැමිණියේ ය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය.
එම්බා ශ්‍රමණය, මෙතනින් පිටත් වෙනු.
හොඳයි ආයුෂ්මතුනි, යි කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ පිටතට වැඩි සේක.
එම්බා ශ්‍රමණය, යළි ඇතුළට පැමිණෙනු.
හොඳයි ආයුෂ්මතුනි, යි කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ ඇතුළට වැඩි සේක.
දෙවැනි වරට ද අලව් යකා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය.
එම්බා ශ්‍රමණය, මෙතනින් පිටත් වෙනු.
හොඳයි ආයුෂ්මතුනි, යි කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ පිටතට වැඩි සේක.
එම්බා ශ්‍රමණය, යළි ඇතුළට පැමිණෙනු.
හොඳයි ආයුෂ්මතුනි, යි කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ ඇතුළට වැඩි සේක.
තුන් වන වරට ද අලව් යකා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය.
එම්බා ශ්‍රමණය, මෙතනින් පිටත් වෙනු.
හොඳයි ආයුෂ්මතුනි, යි කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ පිටතට වැඩි සේක.
එම්බා ශ්‍රමණය, යළි ඇතුළට පැමිණෙනු.
හොඳයි ආයුෂ්මතුනි, යි කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ ඇතුළට වැඩි සේක.
හතර වන වරට ද අලව් යකා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය.
එම්බා ශ්‍රමණය, මෙතනින් පිටත් වෙනු.
ආයුෂ්මතුනි, මම මෙතැනින් පිටතට නොයන්නෙමි. ඔබට කළ හැකි දෙයක් වේ නම්, දැන් එය කළ මැනව.
එම්බා ශ්‍රමණය, තොපගෙන් මම ප්‍රශ්න අසන්නෙමි. ඉදින් ඒ ගැන පිළිතුරු නොදෙන්නෙහි නම් තොප ගේ සිත හෝ පෙරළා දමන්නෙමි. තොප ගේ හදවත හෝ පලා දමන්නෙමි. පා වලින් ගෙන හෝ ගඟින් එතෙරට විසිකරන්නෙමි.
ආයුෂ්මතුනි, දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මා ගේ සිත පෙරළා දැමිය හැකි කෙනෙකුන් හෝ හදවත පලා දැමිය හැකි කෙනෙකුන් හෝ පා වලින් ගෙන ගඟින් එතෙරට විසි කර දැමිය හැකි කෙනෙකුන් හෝ මම නම් නො දකිමි.
එනමුදු ආයුෂ්මතුනි, ඔබ කැමති කාරණාවන් මගෙන් විමසුව මැනව.
එකල්හී අලව් යකා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ පවසා සිටියේ ය.
(ප්‍රශ්න)
කවර ධනය ද පුරුෂයා හට උතුම් වන්නේ ?
කවර කරුණ ද පුරුදු කළ විට සැප ලැබෙන්නේ ?
කවර රසය ද ලොවේ මියුරු ම රසය වන්නේ ?
කවර දිවිය ද ගත කරන විට උතුම් වන්නේ ?
(පිළිතුරු)
සැදැහැ ධනයයි පුරුෂයා හට උතුම් වන්නේ
සොඳුරු දහමයි පුරුදු කළ විට සැප ලැබෙන්නේ
ආර්ය සත්‍යයයි ලොවේ මියුරු ම රසය වන්නේ
නැණැති දිවියයි ගත කරන විට උතුම් වන්නේ
(ප්‍රශ්න)
සැඩ දියෙන් එතෙර වී පැන ගන්නෙ කෙලෙසින්ද?
සමුදුරෙන් එතෙර වී ගොඩ යන්නෙ කෙලෙසින්ද?
භව දුකින් අත මිදී ගැලවෙන්නෙ කෙලෙසින්ද?
ජීවිතය පිරිසිදුව බබලන්නෙ කෙලෙසින්ද?
(පිළිතුරු)
සැදැහැයෙනි සැඩ දියෙන් එතෙර වී පැන ගන්නෙ
නොම පමාවෙනි සසර සමුදුරෙන් ගොඩ යන්නෙ
වීරියෙන් ඉක්ම ගොස් භව දුකින් ගැලවෙන්නෙ
නැණ බලෙන් ම ය ලොවේ දිවිය පිරිසිදු වන්නෙ
(ප්‍රශ්න)
කෙලෙසින්ද දිවි මගට නුවණ ඇති කර ගන්නෙ?
කෙලෙසින්ද කෙනෙකු ලොව ධනය රැස් කරගන්නෙ?
කෙලෙසින්ද කෙනෙකුගේ හොඳ නමක් පැතිරෙන්නෙ?
කෙලෙසින්ද යහළු මිතුරන් පිරිස ලැබ ගන්නෙ?
මෙලොව හැර – පරලොවට ගිය විට
කෙලෙසින්ද ශෝකයක් නැති වෙන්නෙ?
(පිළිතුරු)
අමා නිවනට පමුණුවාලන – දහම් පවසති රහත් මුනිවරු
සැදැහැ සිත් එහි උපදවාගෙන – මනාකොට ඒ බණ අසාගෙන
ඇසූ දහමට සිත යොමා ගෙන
පමා නොම වී එයට නතු වී – විමසනා විට නුවණ මතු වේ
බාරගෙන එන වගකීම් හැම
වීරියෙන් කටයුතු ද කරනා
නොපසුබසිනා වීරියෙන් යුතු
කෙනෙකු වේ නම්
රැස් කරයි හේ සියලු ධනය ම
සැබෑ බස් පවසන කෙනා
ලබයි ලොව හොඳ නම මනා
යහළුවන් සොයනා කෙනා
දිය යුතුය හැම දන් මනා
සැදැහැවත් පින්වතෙකු හට – ගිහිගෙයි වසනා
පවතින විටෙක – දහම් සතරක් මේ කියනා
සැබෑ බස් පැවසීම ද – වැටහෙන නුවණ තිබුම ද
උත්සහය පැවතීම ද – දන් දෙන්ට හැකි වීම ද
මේවා තිබෙන විට – ගෙවනා ජීවිතයේ
පරලොව ගිය කලෙක – ශෝක නොකරයි එයා කිසි විට
එහෙනම් ඔබ හට මේ ගැන
ඕනෑ නම් දැනගන්නට
ලොවේ වෙන ශ්‍රමණ බමුණන්
වෙතට ගොස් විමසා බලනු මැන
සැබෑ බසකට – ඉන්ද්‍රියන් දමනයකට
දන් පැන් පිදීමට – ඉවසීමෙන් විසීමට
වැඩිතරම් වූ – තවත් කිසිවක්
ලොවේ වෙන – ඇති දැයි කියා
(අළව් යකු)
අනේ පින්වත් භගවතාණෙනි,
ලොවේ සිටිනා වෙන – ශ්‍රමණ බමුණන්ගෙන්
කුමට නම් මා යළි අසන්ටද ?
දැන ගතිමි අද සිතු ලෙසට මම
මෙලොව – පරලොව සැපත ලැබදෙන සියලු කරුණු ම
සැබැවින් ම බුදු සමිඳුනේ ඔබ
මා කෙරෙහි කරුණාවෙන්
වැඩි සේක මේ අලව් භවනට
යම් උතුම් කෙනෙකුන් හට
දුන් දෙයින් මහඵල ලැබෙයි නම්
පිදිය යුතු ඒ උතුම් මුනිඳුන්
දැන ගතිමි මම අද දිනේ
නමඳිමින් සම්බුදු රජාණන්
අසිරිමත් දම් රස අමාවන්
පවසමින් ලොව යමි – ගමින් ගම
ඇවිද පවසමි මම රටින් රට
මෙසේ කී අලව් යකු භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.
“පින්වත් ගෞතමයාණෙනි, හරිම අපූරුයි! පින්වත් ගෞතමයාණෙනි, හරිම අගෙයි.”
යටට හැරී තිබූ දෙයක් උඩට හරවා තැබුවා වැනිය. සැඟ වී තිබූ දෙයක් සොයාගෙන පෙන්නුවාක් වැනිය. අතරමං වී ගිය කෙනෙකුට සැබෑම මාවත පෙන්වා දුන්නාක් වැනිය. ඇස් පෙනෙන උදවියට රූප දකින්නට අඳුරේ තෙල් පහනක් දරාගත්තාක් වැනිය.
පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් දහම් දෙසන ලදී. මම් ද පින්වත් ගෞතමයන් වහන්සේව සරණ යමි. ඒ සද්ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ යමි.
පින්වත් ගෞතමයන් වහන්සේ අද පටන් මා ගැන ද දිවි තිබෙනා තුරා ම තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගන්නා සේක්වා!”යි.
ආළවක යකු නිසා වදාළ දෙසුම නිමා විය.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn2_1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M