ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

4.1.7. සබ්‍රහ්මක සුත්තං

4.1.7. බ්‍රහ්මයා සහිත වීම ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, සමහර දරුවන් ඉන්නවා. ඔවුන් තමන්ගේ ගෙදර ඉන්න මව්පියන්ව හොඳින් පුදනවා. ඉතින් අන්න ඒ වගේ ගෙවල් තමයි බ්‍රහ්මය සහිත තැන් වෙන්නේ. පින්වත් මහණෙනි, සමහර දරුවො තමන්ගේ ගෙවල්වල ඉන්න මව්පියන්ව හොඳට පුදනවා. ඉතින් අන්න ඒ වගේ ගෙවල්වල තමයි පූර්ව දේවතාවන් සහිත තැන් වෙන්නේ. පින්වත් මහණෙනි, සමහර දරුවෝ තමන්ගේ ගෙවල්වල ඉන්න මව්පියන්ව හොඳින් පුදනවා. ඉතින් අන්න ඒ වගේ ගෙවල්වල තමයි පූර්ව ආචාර්යවරු සහිත තැන් වෙන්නේ. පින්වත් මහණෙනි, සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ ගෙවල්වල ඉන්න මව්පියන්ව හොඳින් පුදනවා. ඉතින් අන්න ඒ වගේ ගෙවල්වල තමයි නොයෙක් පිදුම් ලබන්න සුදුසු අය ඉන්න තැනි වෙන්නේ.

පින්වත් මහණෙනි, ‘බ්‍රහ්ම’ කියලා කියන්නේ මේ මව්පියන්ට කියන තවත් නමක්. පින්වත් මහණෙනි, ‘පූර්ව දෙවියන්’ කියලා කියන්නේ මේ මව්පියන්ට කියන තවත් නමක්. පින්වත් මහණෙනි, ‘පූර්ව ආචාර්ය’ කියලා කියන්නේ මේ මව්පියන්ට කියන තවත් නමක්. පින්වත් මහණෙනි, (පිදුම් ලබන්න සුදුසු) ‘ආහුණෙය්‍ය’ කියලා කියන්නේ මේ මව්පියන්ට කියන තවත් නමක්.

ඒකට හේතුව කුමක්ද?

පින්වත් මහණෙනි, මේ මව්පියවරු තමයි දරුවන්ට ගොඩාක් උපකාර කරන්නේ. රැකබලා ගන්නේ. අත පය වඩලා පෝෂණය කරන්නේ. මේ ලෝකය ගැන පෙන්වලා දෙන්නේ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“මව්පියන්ට තමයි ‘බ්‍රහ්ම’ කියන්නෙත්. ‘පූර්ව ආචාර්ය’ කියලා කියන්නෙත්. දරු පරපුරට අනුකම්පා කරන ඒ මව්පියෝ දරුවන්ගේ පුද පූජාවන්ටත් සුදුසුයි.

ඒ නිසා ඤාණවන්ත කෙනා ඒ මව්පියන්ට නමස්කාර කරනවා. සත්කාර කරනවා. ආහාර පාන දෙනවා. වස්ත්‍ර, සයන ආදියත් දෙනවා. නහවා පිරිසිදු කරනවා. පා දෝවනය කරනවා. මේ විදිහට සත්කාර කරනවා.

ඒ විදිහට මව්පියන්ට උපස්ථාන කරන ඤාණවන්ත කෙනා මේ ජීවිතයේදීමත් ගොඩාක් ප්‍රශංසා ලබනවා. මරණින් මත්තෙත් දෙව්ලොව ගිහිල්ලා සතුටු වෙනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M