ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

4.1.5. සීලසම්පන්න සුත්තං

4.1.5. සීල සම්පන්න භික්ෂුව ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා සීල සම්පන්නයි. සමාධි සම්පන්නයි. ප්‍රඥා සම්පන්නයි. විමුක්ති සම්පන්නයි. විමුක්ති ඤාණදර්ශනයෙනුත් යුක්තයි. දහමින් අවවාද කරනවා. සදහම් කියා දෙන්න දක්ෂයි. සදහම් පෙන්වා දෙන කෙනෙක්. සමාදන් කරවන කෙනෙක්. සදහම් ගැන උනන්දු ඇති කරවන කෙනෙක්. එහි සතුට ඇති කර දෙන කෙනෙක්. සද්ධර්මය ඉතා හොඳින් දේශනා කිරීමටත් පුළුවනි.

පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂූන්ගේ දැකීම පවා ගොඩාක් වටිනවා කියලයි මම කියන්නේ. පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂූන්ට සවන් දීමත් ගොඩාක් වටිනවා කියලයි මම කියන්නේ. පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂූන් ළඟට යන එක පවා ගොඩාක් වටිනවා කියලයි මම කියන්නේ. පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂූන් ඇසුරු කරන එක පවා ගොඩාක් වටිනවා කියලයි මම කියන්නේ. ඒ වගේ භික්ෂූන් සිහි කරන එක පවා ගොඩාක් වටිනවා කියලයි මම කියන්නේ. පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂූන් ළඟ පැවිදි වෙනවා නම් ඒකත් ගොඩාක් වටින දෙයක් කියලයි මම කියන්නේ.

ඒකට හේතුව මොකක්ද?

පින්වත් මහණෙනි, ඒ වගේ භික්ෂුවක්ව සේවනය කරන කොට, භජනය කරන කොට, ආශ්‍රය කරන කොට තමන්ගේ සම්පූර්ණ නොවෙච්ච යම් සීල ස්කන්ධයක් තියෙනවා නම්, ඒක වැඩීමෙන් සම්පූර්ණ බවට පත්වෙනවා. සම්පූර්ණ නොවී තිබුණු සමාධි ස්කන්ධයක් තියෙනවා නම් ඒක වැඩීමෙන් සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ නොවී තිබුණු ප්‍රඥා ස්කන්ධයක් තියෙනවා නම්, ඒක වැඩීමෙන් සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ නොවී තිබුණු විමුක්ති ස්කන්ධයක් තියෙනවා නම්, ඒක වැඩීමෙන් සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ නොවී තිබුණු විමුක්ති ඤාණදර්ශන ස්කන්ධයක් තියෙනවා නම්, ඒක වැඩීමෙන් සම්පූර්ණ වෙනවා.

පින්වත් මහණෙනි, ඔය වගේ භික්ෂුවකට ‘ශාස්තෘ’ කියලා කියනවා. (සසරෙන් එතෙර කරවන නිසා) ‘සත්ථවාහ’ කියලත් කියනවා. (කෙලෙස් යුද්ධය දිනවලා දෙන නිසා) ‘රණඤ්ජහ’ කියලත් කියනවා. (අඳුර නසා දමන නිසා) ‘තමෝනුද’ කියලත් කියනවා. (ප්‍රඥාලෝකය ඇති කරන නිසා) ‘අලෝකකර’ කියලත් කියනවා. (ආලෝකයෙන් ප්‍රභාමත් කරන නිසා) ‘ඕභාසකර’ කියලත් කියනවා. (නුවණ නමැති පහන දල්වා දෙන නිසා) ‘පජ්ජෝතකර’ කියලත් කියනවා. (ප්‍රඥාව නමැති පහන් එළිය දරාගෙන සිටින නිසා) ‘උක්කාධාර’ කියලත් කියනවා. (ප්‍රඥා ප්‍රභාව ඇති කරන නිසා) ‘පභංකර’ කියලත් කියනවා. (ආර්ය සත්‍ය අවබෝධ කරවන නිසා) ‘ආර්ය’ කියලත් කියනවා. (සදහම් ඇස් ඇති නිසා) ‘චක්ඛුමන්ත’ කියලත් කියනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“වඩන ලද සිත් ඇති, ධර්මය තුළ ජීවත් වන ආර්යයන් වහන්සේලාගේ දැකීම පවා කරුණු දන්න නැණවතුන්ට සතුටු වෙන්න කාරණාවකි.

ප්‍රඥා ප්‍රභාව ඇති කරවන උන්වහන්සේලා සද්ධර්මය කියා දීමෙන් සසුන බබලුවනවා. උන්වහන්සේලා සදහම් ඇස් ලබාගෙන කෙලෙස් යුද්ධය දිනවලා ආලෝකය උදා කර දෙනවා.

නුවණැති උදවිය බුදු සසුන ගැන අසා දැනගෙන, ප්‍රඥාව දියුණු කරගෙන උපතෙහි අවසානය වන අරහත්වය අවබෝධ කරගෙන, පුනර්භවයට පැමිණෙන්නේ නෑ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M