භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා ඔවුන් ‘මේ තමයි දුක’ කියලා ඇති හැටියටම දන්නෙ නෑ. ‘මේ තමයි දුක් හටගැනීම’ කියලා ඇති හැටියටම දන්නෙ නෑ. ‘මේ තමයි දුක් නැතිවීම’ කියලා ඇති හැටියටම දන්නෙ නෑ. ‘මේ තමයි දුක් නැතිවීම පිණිස යන ප්‍රතිපදාව’ කියලා ඇති හැටියටම දන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ශ්‍රමණයන් අතරේ සැබෑ ශ්‍රමණයන් හැටියට මම සම්මත කරන්නේ නෑ. බ්‍රාහ්මණයන් අතරේ සැබෑ බ්‍රාහ්මණයන් හැටියටත් සම්මත කරන්නේ නෑ. ඒකට හේතුව ඒ ආයුෂ්මත්වරුන් මේ ජීවිතයේදී තමන් විසින්ම සැබෑම වූ ශ්‍රමණ අර්ථයවත්, සැබෑම වූ බ්‍රාහ්මණ අර්ථයවත් අවබෝධ නොකරගෙන ජීවත් වීමයි.
පින්වත් මහණෙනි, තව සමහර යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ඔවුන් ‘මේ තමයි දුක’ කියලා ඇතිහැටියටම දන්නවා. ‘මේ තමයි දුක් හටගැනීම’ කියලා ඇතිහැටියටම දන්නවා. ‘මේ තමයි දුක් නැතිවීම’ කියලා ඇතිහැටියටම දන්නවා. ‘මේ තමයි දුක් නැතිවීම පිණිස යන ප්‍රතිපදාව’ කියලා ඇති හැටියටම දන්නවා. පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් තමයි ශ්‍රමණයන් අතරේ සැබෑම ශ්‍රමණවරුන් හැටියටත්, බ්‍රාහ්මණයන් අතරේ සැබෑම බ්‍රාහ්මණවරුන් හැටියටත් මම සම්මත කරන්නේ. ඒකට හේතුව ඒ ආයුෂ්මත්වරු මේ ජීවිතයේදී තමන් විසින්ම සැබෑ වූ ශ්‍රමණ අර්ථයත්, සැබෑම වූ බ්‍රාහ්මණ අර්ථයත් අවබෝධ කරගෙන ජීවත් වීමයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“කෙනෙක් ඉන්නවා දුක මොකක්ද කියලා දන්නෙ නෑ. ඒ වගේම දුකට හේතුව මොකක්ද කියලා දන්නෙත් නෑ. ඒ දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැන දන්නෙත් නෑ. ඒ දුක නැති වී යන මාර්ගය දන්නෙත් නෑ.
ඒ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් නොදන්න ඔවුන් මේ ජාති ජරා දුක් නැති කරලා දාන්න සුදුස්සෝ වෙන්නෙ නෑ.
කෙනෙක් ඉන්නවා දුක මොකක්ද කියලා දන්නවා. ඒ වගේම දුකට හේතුව මොකක්ද කියලා දන්නවා. ඒ දුක ඉතුරු නැතිව නිරුද්ධ වෙන තැන දන්නවා. ඒ දුක නැති වී යන මාර්ගය දන්නවා.
ඒ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් හොඳ හැටි දන්න ඔවුන් තමයි මේ ජාති ජරා දුක් නැති කරලා දමන්න නියම සුදුස්සෝ වෙන්නේ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M