භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, ආශ්‍රව ක්ෂය වීම සිදුවෙන්නෙ දන්න කෙනාට, දකින කෙනාට කියලයි මම කියන්නේ. නොදන්න, නොදකින කෙනාට නොවෙයි. පින්වත් මහණෙනි, කුමක් දන්න කෙනාටද, කුමක් දකින කෙනාටද ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ?
පින්වත් මහණෙනි, ‘මේ තමයි දුක’ කියලා දන්න කෙනාට, දකින කෙනාට තමයි ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ. පින්වත් මහණෙනි, ‘මේ තමයි දුකේ හටගැනීම’ කියලා දන්න කෙනාට, දකින කෙනාට තමයි ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ. පින්වත් මහණෙනි, ‘මේ තමයි දුකේ නැතිවීම’ කියලා දන්න කෙනාට, දකින කෙනාට තමයි ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ. පින්වත් මහණෙනි, ‘මේ තමයි දුක් නැතිවීම පිණිස පවතින වැඩපිළිවෙල’ කියලා දන්න කෙනාට, දකින කෙනාට තමයි ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට දන්න කෙනාට, දකින කෙනාට තමයි ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“නිවන් මගෙහි හික්මෙන්නා වූ සේඛ භික්ෂුව ඍජු මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරන විට පළමුව ඇතිවන්නේ කෙලෙස් ක්ෂය වීම පිළිබඳ ඤාණයයි. අනතුරුව අරහත් ඵලයට පත්වෙයි.
ඒ විදිහට සියල්ල දැනගෙන කෙලෙස්වලින් නිදහස් වූ, අරහත් භික්ෂුවට ඒ ගැන උතුම් වූ විමුක්ති ඤාණය තියෙනවා. සංයෝජනයන් ක්ෂය වෙන කොට ඒ කෙලෙස් ක්ෂය වුන බවට අවබෝධ ඤාණය ඇතිවෙනවා.
සියලු කෙලෙස් ගැටවලින් සිත නිදහස් කරවන මේ අමා නිවන, කුසීත වූ ධර්මය නොදන්නා අඥාන කෙනාට අවබෝධ කරන්න බෑ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M