ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

4.1.2. චතුරනවජ්ජ සුත්තං

4.1.2. නිවැරදි දේවල් හතරක් ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, භික්ෂුවකට උවමනා ප්‍රත්‍යය හතරක් තියෙනවා. ඒවා අල්පයි. සුලභයි. ඒ වගේම ඒවා තමයි නිවැරදි. ඒ හතර මොනවාද?

පින්වත් මහණෙනි, සිවුරු අතරින් මේ පාංශුකූල සිවුර තියෙනවා. ඒක ඉතා අල්පයි. ඒත් සුලභයි. ඒක තමයි නිවැරදි. පින්වත් මහණෙනි, භෝජනයන් අතුරින් මේ පිඬු සිඟා ලැබෙන දේ තියෙනවා. ඒක ඉතා අල්පයි. ඒත් සුලභයි. ඒක තමයි නිවැරදි. පින්වත් මහණෙනි, සේනාසන අතුරින් මේ රුක් මුල් තියෙනවා. ඒක ඉතා අල්පයි. ඒත් සුලභයි. ඒක තමයි නිවැරදි. පින්වත් මහණෙනි, බෙහෙත් අතර මේ පූතිමුත්ත (අරළු, ගව මුත්‍ර ආදියෙන් තනා ගත්) භේජස්ජ තියෙනවා. ඒක ඉතා අල්පයි. ඒත් සුලභයි. ඒක තමයි නිවැරදි.

පින්වත් මහණෙනි, මේ තමයි අල්ප වගේම සුලභ, නිවැරදි දේවල් හතර.

පින්වත් මහණෙනි, යම් කලෙක භික්ෂුව අල්ප දෙයිනුත්, ඒ සුලභ දෙයිනුත් සතුටු වෙනවා නම්, මේකත් එක්තරා ශ්‍රමණ ගුණ ධර්මයක් කියලයි මම කියන්නේ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“ස්වල්ප වූ, සුලභ වූ, නිවැරදි දෙයින්ම සතුටු වන කෙනෙක් ඉන්නවා. ඔහුට සේනාසන නිසාවත්, සිවුරු, පිණ්ඩපාත නිසාවත් හිතට කිසිම දුකක් එන්නෙ නෑ. කිසි දිශාවක් ඔහුව විරුද්ධ වෙන්නෙත් නෑ.

ශ්‍රමණයින්ට ගැලපෙන යම් ධර්මයක් ප්‍රකාශ කළා නම්, අප්‍රමාදීව ඒ ධර්මයේ ඉන්න ඒ භික්ෂුව සතුටම මුල් කරගෙන තමයි ඉන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M