භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, සීල සම්පන්නව වාසය කරන්න. ප්‍රාතිමෝක්ෂ සංවරයෙනුත් සම්පන්න වෙන්න. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙලා, යහපත් ගති පැවැතුමෙන් යුක්තව ඉන්න. ඉතාම පුංචි වරදක පවා භය දකිමින් ශික්ෂාපදවල සමාදන් වෙලා හික්මෙන්න.
පින්වත් මහණෙනි. සීල සම්පන්නව, ප්‍රාතිමෝක්ෂ සම්පන්නව, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙලා, යහපත් ගති පැවැතුමෙන් යුක්තව සිටින, ඉතාම පුංචි වරදක පවා භය දකිමින්, ශික්ෂාපදවල සමාදන් වෙලා හික්මෙන ඒ භික්ෂුව තවදුරටත් කළ යුත්තේ කුමක්ද?
පින්වත් මහණෙනි, ඇවිදිමින් ඉන්න ඒ භික්ෂුවගේ කාමච්ඡන්දය ප්‍රහීණ වෙලා නම්, තරහ ප්‍රහීණ වෙලා නම්, අලසකමත්, නිදිමතත් ප්‍රහීණ වෙලා නම්, සිතේ නොසන්සුන්කමත්, පසුතැවීමත් ප්‍රහීණ වෙලා නම්, කුසල් දහම් ගැන සැකයත් ප්‍රහීණ වෙලා නම්, වීරියත් හොඳට පවතිනවා. සිතත් කැළඹිලා නෑ. සිහියත් හොඳට පිහිටලා. සිහිය මුලාවෙලත් නෑ. කයත් සංසිඳිලා ශාන්ත වෙලා. සංසුන් සිතත් එකඟයි. පින්වත් මහණෙනි, ඇවිදිමින් සිටින මේ වගේ භික්ෂුව කෙලෙස් තවා දමන වීරියෙන් යුක්තයි. පවට භය සහිතයි. හැම වෙලාවෙම පටන් ගත්තු වීරිය තියෙන ඒ අමා නිවන වෙතටම සිත හොඳින් පිහිටුවාගත්තු කෙනෙක් කියලයි කියන්නේ.
පින්වත් මහණෙනි, සිටගෙන ඉන්න ඒ භික්ෂුවගේ කාමච්ඡන්දය ප්‍රහීණ වෙලා නම්, තරහ ප්‍රහීණ වෙලා නම්, අලසකමත්, නිදිමතත් ප්‍රහීණ වෙලා නම්, සිතේ නොසන්සුන්කමත්, පසුතැවීමත් ප්‍රහීණ වෙලා නම්, කුසල් දහම් ගැන සැකයත් ප්‍රහීණ වෙලා නම්, වීරියත් හොඳට පවතිනවා. සිතත් කැළඹිලා නෑ. සිහියත් හොඳට පිහිටලා. සිහිය මුලාවෙලත් නෑ. කයත් සංසිඳිලා ශාන්ත වෙලා. සංසුන් සිතත් එකඟයි. පින්වත් මහණෙනි, සිටගෙන සිටින මේ වගේ භික්ෂුව කෙලෙස් තවා දමන වීරියෙන් යුක්තයි. පවට භය සහිතයි. හැම වෙලාවෙම පටන් ගත්තු වීරිය තියෙන ඒ අමා නිවන වෙතටම සිත හොඳින් පිහිටුවාගත්තු කෙනෙක් කියලයි කියන්නේ.
පින්වත් මහණෙනි, වාඩි වී ඉන්න ඒ භික්ෂුවගේ කාමච්ඡන්දය ප්‍රහීණ වෙලා නම්, තරහ ප්‍රහීණ වෙලා නම්, අලසකමත්, නිදිමතත් ප්‍රහීණ වෙලා නම්, සිතේ නොසන්සුන්කමත්, පසුතැවීමත් ප්‍රහීණ වෙලා නම්, කුසල් දහම් ගැන සැකයත් ප්‍රහීණ වෙලා නම්, වීරියත් හොඳට පවතිනවා. සිතත් කැළඹිලා නෑ. සිහියත් හොඳට පිහිටලා. සිහිය මුලාවෙලත් නෑ. කයත් සංසිඳිලා ශාන්ත වෙලා. සංසුන් සිතත් එකඟයි. පින්වත් මහණෙනි, වාඩි වී සිටින මේ වගේ භික්ෂුව කෙලෙස් තවා දමන වීරියෙන් යුක්තයි. පවට භය සහිතයි. හැම වෙලාවෙම පටන් ගත්තු වීරිය තියෙන ඒ අමා නිවන වෙතටම සිත හොඳින් පිහිටුවාගත්තු කෙනෙක් කියලයි කියන්නේ.
පින්වත් මහණෙනි, සැතැපී ඉන්න, නිදිවරා ඉන්න ඒ භික්ෂුවගේ කාමච්ඡන්දය ප්‍රහීණ වෙලා නම්, තරහ ප්‍රහීණ වෙලා නම්, අලසකමත්, නිදිමතත් ප්‍රහීණ වෙලා නම්, සිතේ නොසන්සුන්කමත්, පසුතැවීමත් ප්‍රහීණ වෙලා නම්, කුසල් දහම් ගැන සැකයත් ප්‍රහීණ වෙලා නම්, වීරියත් හොඳට පවතිනවා. සිතත් කැළඹිලා නෑ. සිහියත් හොඳට පිහිටලා. සිහිය මුලාවෙලත් නෑ. කයත් සංසිඳිලා ශාන්ත වෙලා. සංසුන් සිතත් එකඟයි. පින්වත් මහණෙනි, සැතැපී සිටින, නිදිවරා සිටින මේ වගේ භික්ෂුව කෙලෙස් තවා දමන වීරියෙන් යුක්තයි. පවට භය සහිතයි. හැම වෙලාවෙම පටන් ගත්තු වීරිය තියෙන ඒ අමා නිවන වෙතටම සිත හොඳින් පිහිටුවාගත්තු කෙනෙක් කියලයි කියන්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“භික්ෂුව කෙලෙස් තවන වීරියෙන්මයි ඇවිද යන්නේ. කෙලෙස් තවන වීරියෙන්මයි සිටගෙන ඉන්නේ. කෙලෙස් තවන වීරියෙන්මයි වාඩි වී ඉන්නේ. කෙලෙස් තවන වීරියෙන්මයි සැතැපී ඉන්නේ. කෙලෙස් තවන වීරියෙන්මයි අත් පා හකුළන්නේ. කෙලෙස් තවන වීරියෙන්මයි දිගහරින්නේ.
උඩ දිශාවෙත්, හරහටත්, යටටත්, යම්තාක් සත්ව ලෝක ඇත්නම් ඒ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීමත්, නැතිවීමත් ගැන ඒ භික්ෂුව ඉතා හොඳට විදර්ශනා කරනවා.
ඔය විදිහට ජීවත් වෙන කෙනා කෙලෙස් තවන වීරියෙන් යුතුව, ශාන්ත පැවැතුම් ඇති, සංසුන් සිත් ඇති, චිත්ත සමාධියට හිතකර වූ වැඩපිළිවෙලක යෙදෙමින්, හැමවිටම ධර්මයේ හික්මෙන කොට, අන්න ඒ භික්ෂුවට තමයි නිවන කරා යන සිත් ඇති කෙනා කියල කියන්නේ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M