ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

4.1.13. ලෝකාවබෝධ සුත්තං

4.1.13. ලෝකය ගැන ඇති අවබෝධය ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝකය ඉතා හොඳින් අවබෝධ කළා. තථාගතයන් වහන්සේ ලෝකයත් එක්ක එකතු වෙලා නෑ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝකයේ හටගැනීම ගැන ඉතා හොඳින් අවබෝධ කළා. ඒ ලෝකයේ හටගැනීම තථාගතයන් වහන්සේට ප්‍රහීණයි. පින්වත් මහණෙනි, ලෝකයේ නිරුද්ධ වීම තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කළා. ලෝකයේ නිරුද්ධ වීම තථාගතයන් වහන්සේ සාක්ෂාත් කළා. පින්වත් මහණෙනි, ලෝකය නිරුද්ධ වන ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කළා. ලෝකය නිරුද්ධ වෙන ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කළා.

පින්වත් මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ, දෙවි මිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාව යම් දෙයක් දැක්කා නම්, ඇහුවා නම්, නාසයෙන්, දිවෙන්, කයෙන් යමක් දැනගත්තා නම්, සිතින් දැනගත්ත දේවල් තියෙනවා නම්, ලැබිච්ච, සොයා ගිහිල්ලා දැනගත්තු, සිතින් විමසලා සෙයා ගත්තු ඒ සියලුම දේවල් තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කළා. ඒ නිසා තමයි ‘තථාගත’ කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උත්තරීතර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළාද, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවාද, මේ අතර කාලය තුළදී තථාගතයන් වහන්සේ යමක් වදාරනවා නම්, ප්‍රකාශ කරනවා නම්, පෙන්වා දෙනවා නම්, ඒ ඔක්කොම ඒ විදිහට තමයි වෙන්නේ. වෙනස් විදිහකට වෙන්නෙ නෑ. ඒ නිසා ‘තථාගත’ කියලා කියනවා.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ යමක් කියනවා නම්, ඒ විදිහටම තමයි කටයුතු කරන්නේ. තථාගතයන් වහන්සේ යම් විදිහකට නම් කටයුතු කරන්නේ, ඒ විදිහටම තමයි කියන්නේ. කියන දේට අනුවම කටයුතු කරනවා, කරන දේ තමයි කියන්නේ. ඒ නිසා ‘තථාගත’ කියලා කියනවා.

පින්වත් මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ, දෙවි මිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාවේ තථාගතයන් වහන්සේ තමයි සියල්ලම මැඩ පවත්වන්නේ. සියල්ල අභිභවා සිටින්නේ. ලෝකයේ කිසිවෙකුටවත් තථාගතයන් වහන්සේව ඉක්මවා යන්න බෑ. ඒකාන්තයෙන් සියල්ල දැකලා සියල්ල තමන්වහන්සේගේ වශයෙන් පවත්වනවා. ඒ නිසාත් ‘තථාගත’ කියලා කියනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“සියලු ලෝකයම අවබෝධ කළා. සියලු ලෝකවල ඇති සියල්ල දැනගත්තා. ඒ නිසා සියලු ලෝකයන් එක්ක එකතු වීමක් නෑ. කිසි ලෝකයක ඇලීමක් නෑ.

සියලු දේම මැඩ පැවැත්වූවා. මහා ප්‍රාඥයි. සියලු කෙලෙස් ගැටවලින්ම මිදිලයි වැඩ සිටින්නේ. කිසි ලෙසකින් භයක් නැති, පරම ශාන්තිය වූ ඒ අමා නිවන උන්වහන්සේ ස්පර්ශ කොට වදාළා.

මේ බුදුරජාණන් වහන්සේ ක්ෂීණාශ්‍රව වූ මුනිඳාණෝය. දුක් නැති සැක නැති මුනිඳාණෝය. සියලු කර්ම ක්ෂය කොට සියලු කෙලෙස් ගෙවා දමා නිවනට පත් වූ මුනිඳාණෝය.

මේ භාග්‍යවතුන් වහන්සේ අපගේ බුදුරජාණෝය. ලොවේ අනුත්තර වූ සිංහ රජාණෝය. දෙව් මිනිස් ලෝකයෙහි උත්තම වූ ධර්ම චක්‍රය පවත්වන මුනිඳාණෝය.

ඉතින් මේ නිසා දෙවියොත්, මිනිස්සුත් බුදුරජාණන් වහන්සේ සරණ යනවා. විශාරද නුවණැති මහානුභාව සම්පන්න වූ උන්වහන්සේ කරා පැමිණිලා නමස්කාර කරනවා.

අපගේ බුදුරජාණෝ දමනය වුන සේක. අන්‍යයන්ව දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨ වන සේක. මහා ඉසිවර මුනිඳාණෝ ශාන්ත සිතින් යුතු වී අන්‍යයන්ව ශාන්ත කරවන සේක. දුකින් මිදුන මුනිඳාණෝ අන්‍යයන්ව දුකින් මිදවීමෙහි ශ්‍රේෂ්ඨ වන සේක. සසරින් එතෙරට වැඩි මුනිඳාණෝ අන්‍යයන්වද සසරෙන් එතෙර කරවීමෙහි උත්තම වන සේක.

මෙසේ මහානුභාව සම්පන්න වූ විශාරද නුවණැති මුඹවහන්සේට දෙවියන් සහිත ලෝකයා නමස්කාර කරත්මය. මුඹවහන්සේ වැනි තව කෙනෙක් තුන් ලොවේම නැත්තේමය.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

හතරවෙනි නිපාතය නිමා විය.

ඉතිවුත්තක පාළි නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M