ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

4.1.11. චර සුත්තං

4.1.11. එහා මෙහා ඇවිදීම ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, ඇවිදිමින් සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්න පුළුවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසනවා නම්, දුරු කරන්නෙ නැත්නම්, බැහැර කරන්නෙ නැත්නම්, නැති කරන්නේ නැත්නම්, අභාවයට පත් කරවන්නෙත් නැත්නම්, පින්වත් මහණෙනි, ඇවිදිමින් සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට භයක් නැති, හැම තිස්සේම කුසීත වූ, හීන වීරියෙන් යුතු වූ කෙනා කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, සිටගෙන සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්න පුළුවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසනවා නම්, දුරු කරන්නෙ නැත්නම්, බැහැර කරන්නෙ නැත්නම්, නැති කරන්නේ නැත්නම්, අභාවයට පත් කරවන්නෙත් නැත්නම්, පින්වත් මහණෙනි, සිටගෙන සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට භයක් නැති, හැම තිස්සේම කුසීත වූ, හීන වීරියෙන් යුතු වූ කෙනා කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, වාඩි වී සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්න පුළුවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසනවා නම්, දුරු කරන්නෙ නැත්නම්, බැහැර කරන්නෙ නැත්නම්, අභාවයට පත් කරවන්නෙත් නැත්නම්, පින්වත් මහණෙනි, වාඩි වී සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට භයක් නැති, හැම තිස්සේම කුසීත වූ, හීන වීරියෙන් යුතු වූ කෙනා කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, සැතැපී සිටින, නිදිවරා සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්න පුළුවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසනවා නම්, දුරු කරන්නෙ නැත්නම්, බැහැර කරන්නෙ නැත්නම්, නැති කරන්නෙ නැත්නම්, අභාවයට පත් කරවන්නෙත් නැත්නම්, පින්වත් මහණෙනි, සැතැපී සිටින නිදිවරා සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් නැති, පවට භයක් නැති, හැම තිස්සේම කුසීත වූ, හීන වීරියෙන් යුතු වූ කෙනා කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, ඇවිදිමින් සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්න පුළුවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසන්නෙ නෑ. දුරු කර දමනවා. බැහැර කර දමනවා. නැතිකර දමනවා. අභාවයට පත් කරලා දානවා. පින්වත් මහණෙනි, ඇවිදිමින් සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් ඇති, පවට භයක් ඇති, හැම තිස්සේම පටන් ගත්තු වීරිය ඇති, නිවන කරා මෙහෙය වූ සිත් ඇති කෙනා කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, සිටගෙන සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්න පුළුවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසන්නෙ නෑ. දුරු කර දමනවා. බැහැර කර දමනවා. නැතිකර දමනවා. අභාවයට පත් කරලා දානවා. පින්වත් මහණෙනි, සිටගෙන සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් ඇති, පවට භයක් ඇති, හැම තිස්සේම පටන් ගත්තු වීරිය ඇති, නිවන කරා මෙහෙය වූ සිත් ඇති කෙනා කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, වාඩි වී සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්න පුළුවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසන්නෙ නෑ. දුරු කර දමනවා. බැහැර කර දමනවා. නැතිකර දමනවා. අභාවයට පත් කරලා දානවා. පින්වත් මහණෙනි, වාඩි වී සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් ඇති, පවට භයක් ඇති, හැම තිස්සේම පටන් ගත්තු වීරිය ඇති, නිවන කරා මෙහෙය වූ සිත් ඇති කෙනා කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, සැතැපී සිටින, නිදිවරා සිටින භික්ෂුවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ හටගන්න පුළුවනි. එතකොට පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඒක ඉවසන්නෙ නෑ. දුරු කර දමනවා. බැහැර කර දමනවා. නැතිකර දමනවා. අභාවයට පත් කරලා දානවා. පින්වත් මහණෙනි, සැතැපී සිටින, නිදිවරා සිටින මෙවැනි භික්ෂුව තමයි කෙලෙස් තවන වීරියක් ඇති, පවට භයක් ඇති, හැම තිස්සේම පටන් ගත්තු වීරිය ඇති, නිවන කරා මෙහෙය වූ සිත් ඇති කෙනා කියලා කියන්නේ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“ඇවිදින කොටත්, සිට ගෙන ඉන්න කොටත්, වාඩි වී ඉන්න කොටත්, සැතැපෙන කොටත් යම් භික්ෂුවක් පංච කාමයට සම්බන්ධ පාපී විතර්කයන් සිත සිතා ඉන්නවා නම්,

ඔහුට මග වැරදිලා. නොමඟ ගිහිල්ලයි ඉන්නේ. මෝහයෙන් මුලා වෙලයි ඉන්නේ. එබඳු භික්ෂුවක් උතුම් වූ අරහත්වය ලබාගන්න සුදුස්සෙක් නම් නොවෙයි.

යම් භික්ෂුවක් ඇවිදින කොටත්, සිටගෙන ඉන්න කොටත්, වාඩි වී සිටින කොටත්, සැතැපී සිටිද්දිත් පාපී විතර්කයන් සංසිඳවලා, ඒ විතර්ක සංසිඳුවා ගත් සිතින් ඒ සංසිඳීමට ඇලී වසනවා නම්, එබඳු භික්ෂුව උතුම් වූ අරහත්වය ලබාගන්න සුදුසු කෙනෙක්.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-4-1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M