ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.5.9. දාන සුත්තං

3.5.9. දානය ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ දාන දෙකක් තියෙනවා. ඒ තමයි ආමිස දානයත්, ධර්ම දානයත්. පින්වත් මහණෙනි, මේ දාන දෙක අතරින් ධර්ම දානය තමයි අග්‍ර වෙන්නේ. පින්වත් මහණෙනි, බෙදා හදා ගැනීම් දෙකකුත් තියෙනවා. ඒ තමයි ආමිස බෙදා හදා ගැනීමත්, ධර්මය බෙදා හදා ගැනීමත්. පින්වත් මහණෙනි, මේ බෙදා හදා ගැනීම් දෙක අතරින් මේ ධර්මය බෙදා හදා ගැනීම තමයි උතුම් වෙන්නේ. පින්වත් මහණෙනි, අනුග්‍රහයනුත් දෙකක් තියෙනවා. ඒක තමයි ආමිසයෙන් කරන අනුග්‍රහයත්, ධර්මයෙන් කරන අනුග්‍රහයත්. මේ අනුග්‍රහ දෙක අතරින් වැඩියෙන්ම අග්‍ර වෙන්නේ ධර්මයෙන් කරන අනුග්‍රහයයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“පරම වූ උත්තම වූ යම් දානයක් ගැන යම් දන් බෙදීමක් ගැන භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කොට වදාළ සේක්ද, අග්‍ර වූ පින් කෙතෙහි පහන් සිතින් පුණ්‍යඵල විපාක දැන සුදුසු කාලයට දන් නොදෙන නුවණැති කෙනා කවුද?

සුගතයන් වහන්සේගේ උතුම් සසුනෙහි සිත පහදවා ගත් යමෙක් ඒ උතුම් ධර්මය දේශනා කරනවා නම් තව කෙනෙක් ඒ උතුම් ධර්මය සවන් යොමා අසා සිටිනවා නම් ඒ දෙපක්ෂයම ධර්ම දානය තුළින් පරම පිරිසිදු වෙනවා. ඔවුන් සුගතයන් වහන්සේගේ ශාසනයේ අප්‍රමාදී උදවියයි.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M