භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, ත්‍රිවිද්‍යා සහිත බ්‍රාහ්මණයා කියලා මම සම්මාන කරන්නේ උතුම් වූ ධර්මයට පැමිණිච්ච කෙනාවයි. එක එක අය කියපු දේවල් කිය කියා ඉන්න කෙනාව නෙවෙයි.
පින්වත් මහණෙනි, අනුන් කියපු එක එක දේවල් උපුටා දක්වමින් කියන්නේ නැතුව, උතුම් ධර්මයෙන් යුක්ත කෙනා ත්‍රිවිද්‍යා සහිත බ්‍රාහ්මණයා වශයෙන් පණවන්නේ කොහොමද?
පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව නොයෙක් ආකාර වූ පෙර විසූ ජීවිත ගැන සිහි කරනවා. ඒක මෙන්න මේ විදිහයි. එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පණහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක් පවා සිහිකරනවා. නොයෙක් විදිහේ සංවට්ට කල්ප, නොයෙක් විදිහේ විවට්ට කල්ප, නොයෙක් විදිහේ සංවට්ට විවට්ට කල්ප සිහි කරනවා. ‘එහෙ මං මේ නමින් හිටියා. මේ විදිහයි මගේ ගෝත්‍රය. මේ විදිහයි වර්ණය. මේ විදිහටයි කෑවෙ බිව්වේ. මේ විදිහටයි සැප දුක් වින්ඳේ. මේ විදිහේ ආයුෂ ප්‍රමාණයක් තිබුනා. ඊට පස්සේ එතැනින් චුත වෙලා මෙහි උපන්නා’ කියලා. ඔය විදිහට ආකාර සහිතව, විස්තර සහිතව නොයෙක් ආකාරයෙන් පෙර ජීවිත සිහි කරනවා. මේක තමයි ඔහුගේ පළවෙනි විද්‍යාව ලබාගැනීම වෙන්නේ. අවිද්‍යාව නැතිවෙලා ගියා. විද්‍යාව ඉපදුනා. අඳුර නැතිවුනා. ආලෝකය පහළ වුනා. අප්‍රමාදීව කෙලෙස් නැති කර දමන වීරියෙන් යුක්තව වාසය කරන කෙනෙකුට තමයි ඒ අවබෝධය ලැබෙන්නේ.
ඒ ගැන තවදුරටත් කියනවා නම් පින්වත් මහණෙනි, භික්ෂුව මනුෂ්‍ය හැකියාව ඉක්ම වූ, පිරිසිදු දිවැසින් දකිනවා මේ සත්වයන් චුතවෙන උපදින හැටි. පහත් උසස් බව, වර්ණවත් දුර්වර්ණවත් බව, යහපත් අයහපත් ගති ඇති බව, කර්මානුරූපව උපන් ඒ සත්වයන් ගැන මේ විදිහට දකිනවා. ‘අනේ මේ භවත් සත්වයන් කාය දුෂ්චරිතයෙන් යුක්ත වෙලා, වචී දුෂ්චරිතයෙන් යුක්ත වෙලා, මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වෙලා, ආර්යයන් වහන්සේලාට උපවාද කරලා, මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා, මිත්‍යා දෘෂ්ටික දේවල් කරලා, ඉතින් ඔවුන් කය බිඳිලා මැරුණට පස්සේ අපාය, දුගතිය කියන විනිපාත නිරයේ ඉපදිලා ඉන්නවා. ඒත් අනිත් මේ භවත් සත්වයන් නම් කාය සුචරිතයෙන් යුක්ත වෙලා, වචී සුචරිතයෙන් යුක්ත වෙලා, මනෝ සුචරිතයෙන් යුක්ත වෙලා, ආර්ය වහන්සේලාට උපවාද කරලා නෑ. යහපත් දෘෂ්ටියෙන් යුතුව තමයි ජීවත් වෙලා තියෙන්නේ, සම්මා දිට්ඨියට අනුව තමයි කටයුතු කරල තියෙන්නේ. ඉතින් ඔවුන් කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් වූ දෙව්ලොව ඉපදිලා ඉන්නවා. මේ විදිහට මිනිස් හැකියාව ඉක්මවා ගිය ඉතා පිරිසිදු දිවැසින් දකිනවා මේ සත්වයන් චුත වෙන උපදින හැටි. පහත් උසස් බව, වර්ණවත් දුර්වර්ණවත් බව, යහපත් ගති, අයහපත් ගති ඇති බව. කර්මානුරූපව ඒ සත්වයන් ගිය තැන් දැනගන්නවා. මේක තමයි ඔහුගේ දෙවෙනි විද්‍යාව ලැබීම වෙන්නේ. අවිද්‍යාව නැතිවෙලා ගියා. විද්‍යාව ඉපදුනා. අඳුර නැතිවුනා. ආලෝකය පහළ වුනා. අප්‍රමාදීව කෙලෙස් නැති කර දමන වීරියෙන් යුක්තව වාසය කරන කෙනෙකුට තමයි ඒ අවබෝධය ලැබෙන්නේ.
ඒ ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ආශ්‍රව ක්ෂය කරලා, අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන් විසින්ම සාක්ෂාත් කරනවා. එයට පැමිණ වාසය කරනවා. මේ තමයි ඔහුගේ තුන්වෙනි විද්‍යාව ලැබීම වෙන්නේ. අවිද්‍යාව නැතිවෙලා ගියා. විද්‍යාව ඉපදුනා. අඳුර නැතිවුනා. ආලෝකය පහළ වුනා. අප්‍රමාදීව කෙලෙස් නැති කර දමන වීරියෙන් යුක්තව වාසය කරන කෙනෙකුට තමයි ඒ අවබෝධය ලැබෙන්නේ.
පින්වත් මහණෙනි, ඔය විදිහට මං බ්‍රාහ්මණයාව පනවන්නේ ධර්මය තුළිනුයි. එසේ නැතිව පෙර සිටි ඍෂිවරයින් කිව්වා කියා ඔවුන්ගේ කියූ ප්‍රකාශ උපුටා දැක්වීම් පමණකින් නොවේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“ඔහු පෙර ගත කළ ජීවිත (පුබ්බේනිවාස) ගැනත් දන්නවා. දෙව්ලොවත්, අපායත් දකිනවා. ඊට පස්සේ ඒ මුනිවරයා විශේෂ අවබෝධ ඤාණය නිසා ඉපදීම ක්ෂය කිරීමට පත්වෙනවා. නුවණින් දැනගෙන නිවන් මඟත් සම්පූර්ණ කරගන්නවා.
මේ විද්‍යාවන් තුන නිසා තමයි ත්‍රිවිද්‍යා සහිත බ්‍රාහ්මණයෙක් වෙන්නේ. ඒකට තමයි මම ත්‍රිවිද්‍යාව කියන්නේ. එහෙම නැතුව අනුන් කියපු දේවල් උපුටාගෙන කිය කියා ඉන්න එක නොවෙයි.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
පස්වෙනි වර්ගය නිමා විය.
තික නිපාතය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M