භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු යහපත් සීලයෙන් යුක්තයි. යහපත්ව දහමේ පිහිටි කෙනෙක්. යහපත් ප්‍රඥාවෙන් යුක්තයි. ඔහුට තමයි කියන්නේ ‘මේ ධර්ම විනයේ පරිපූර්ණවෙච්ච, නිවන් මඟ සම්පූර්ණ කරපු උත්තරීතර පුරුෂයා’ කියලා.
පින්වත් මහණෙනි, කොහොමද භික්ෂුවක් යහපත් සීලයෙන් යුතු වෙන්නේ? පින්වත් මහණෙනි, මෙහි මේ භික්ෂුව සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් හොඳටම සංවර වෙලා ජීවත් වෙනවා. නිවැරදි වූ පැවැත්මෙනුත් යුක්තයි. ඉතා සුළු වැරදිවල පවා භය දකිමින් තමයි ජීවත් වෙන්නේ. සිල්පද සමාදන් වෙලා ඉතා හොඳින් ඒවායේ සංවර වෙනවා. පින්වත් මහණෙනි, මේ විදිහට තමයි භික්ෂුව යහපත් සීලයෙන් යුතු වෙන්නේ. මෙය කල්‍යාණසීලය යි.
යහපත් ධර්මයෙන් යුතු කෙනා කොයි විදිහටද වෙන්නේ? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව කොටස් වශයෙන් සතක් වූ බෝධිපාක්ෂික ධර්ම වඩමින් භාවනානුයෝගීව තමයි වැඩඉන්නේ. පින්වත් මහණෙනි, මේ විදිහටයි භික්ෂුව යහපත් ධර්මයෙන් යුතු කෙනෙක් වෙන්නේ. මේ විදිහට යහපත් සීලයෙන්, යහපත් ධර්මයෙන් යුක්ත වෙනවා.
යහපත් ප්‍රඥාවෙන් යුතු කෙනෙක් වෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ආශ්‍රව ක්ෂය කර දැමීමෙන් ආශ්‍රව රහිත වෙනවා. ඒ ආශ්‍රව රහිත චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන් විසින්ම සාක්ෂාත් කරලා, ඒ විමුක්තියට පැමිණිලා ජීවත් වෙනවා. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට තමයි භික්ෂුව යහපත් ප්‍රඥාවෙන් යුතු වෙන්නේ. මේ විදිහට යහපත් සීලයෙනුත් යුක්ත වෙනවා. යහපත් සමාධියෙනුත් යුක්ත වෙනවා. යහපත් ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඔහුට ‘මේ ධර්ම විනයේ පරිපූර්ණ වෙච්ච, නිවන් මග සම්පූර්ණ කරපු, උත්තරීතර පුරුෂයා’ කියලත් කියනවා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“ඔහුගේ කයෙනුත්, වචනයෙනුත්, සිතිනුත් වැරදි දෙයක් කෙරෙන්නෙ නෑ. පව්වලට ලැජ්ජා ඇති ඒ භික්ෂුවට තමයි ‘යහපත් සිල් ඇති කෙනා’ කියලා කියන්නේ.
ඔහු නිවන් අවබෝධයට රැගෙන යන ඒ බොජ්ඣංග ධර්ම කොටස් හත හොඳටම දියුණු කරලා තියෙන්නේ. මානය නැති ඒ භික්ෂුවට ‘යහපත් දහම් ඇති කෙනා’ කියලා කියනවා.
කෙනෙක් ඉන්නවා මේ ජීවිතයේදීම තමන්ගේ සියලු දුක් නැතිවීම ගැන දන්නවා. ආශ්‍රව රහිත වූ ඒ භික්ෂුවට තමයි ‘යහපත් ප්‍රඥාවෙන් යුක්ත කෙනා’ කියලා කියන්නේ.
මේ කාරණාවලින් සමන්විත කෙනා දුක් රහිතයි. සියලු සැක සංකාත් සිඳ බිඳ දමලයි ඉන්නේ. සියලු ලෝකයෙහි නොඇලුණු ඔහුට තමයි ‘සියල්ල ප්‍රහාණය කළ කෙනා’ කියලා කියන්නේ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M