ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.5.7. කාමයෝග සුත්තං

3.5.7. කාම බන්ධනය ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, කාම බන්ධනයෙන් යුක්ත, භව බන්ධනයෙන් යුක්ත කෙනාට නැවතත් මේ ලෝකයට එන්න වෙන නිසා ‘ආගාමී’ වෙනවා.

පින්වත් මහණෙනි, කාම බන්ධනයෙන් වෙන්වෙච්ච (ඒත්) භව බන්ධනයෙන් යුක්ත කෙනා නැවතත් මේ ලෝකයට එන්නෙ නැති නිසා ‘අනාගාමී’ වෙනවා.

පින්වත් මහණෙනි, කාම බන්ධනයෙන් වෙන්වෙච්ච, භව බන්ධනයෙනුත් වෙන්වෙච්ච කෙනා ‘අරහත්, ක්ෂීණාශ්‍රව’ කෙනෙක් වෙනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“කාම බන්ධනයෙනුත්, භව බන්ධනයෙනුත් මේ දෙකෙන් යුක්ත සත්වයන් ඉපදීම, මරණය ඇති මේ සසරේම තමයි ඉන්නේ.

කෙනෙක් ඉන්නවා, කාම බන්ධන ප්‍රහීණ කරලා. ඒත් ආසවක්ෂයට පැමිණිලත් නෑ. භව බන්ධනයෙන් විතරක් බැඳිච්ච ඔවුන්ට ‘අනාගාමී’ කියලා කියනවා.

තවත් කෙනෙක් ඉන්නවා. ඔහු සංසාරය සිඳ දැම්මා. මාන්නයත්, පුනර්භවයත් ක්ෂය කරලා දැම්මා. ආශ්‍රව ක්ෂය වීමට පත්වෙච්ච ඔවුන් තමයි ලෝකයෙන් එතෙරට වැඩියේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M