ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.5.6. කාමූපපත්ති සුත්තං

3.5.6. පංච කාමයන් ලැබීම ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ කාම උත්පත්ති තුනකි. ඒ තුන මොනවාද? නිතර ලැබෙන කාමයත්, නිම්මාණරතී කාමයත්, පරනිම්මිත වසවර්ති කාමයත් යන මේ තුන පින්වත් මහණෙනි, කාම උත්පත්ති තුනය.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“නිබඳ පිහිටි කාමයනුත් තියෙනවා. වසවර්තී කාම ලොව දෙවිවරුත් ඉන්නවා. නිම්මාණරතී කාම ලොව දෙවිවරුත් ඉන්නවා. වෙන කාම භෝගීනුත් ඉන්නවා.

ඔවුන් කවුරුවත් ඉපදි ඉපදී යන මේ සංසාරය ඉක්මවා යන්නෙ නෑ. මේ ආදීනව දකින නුවණැති කෙනා දිව්‍ය වූ යම් කාමයන් ඇත්නම්, මානුෂික වූ යම් කාමයන් ඇත්නම් ඒ සියලු කාමයන් දුරු කරලා දානවා.

ප්‍රිය ස්වරූප වූ මේ කාමයෙහි ඇති තාවකාලික මිහිරට ඇති ගිජු බව සිඳ බිඳ දමා එතෙර වෙන්න දුෂ්කර වූ තණ්හා සැඩ පහරෙන් එතෙර වෙලා දුක් කිසිවක් ඉතුරු නොකොට පිරිනිවන් පානවා නම්,

චතුරාර්ය සත්‍යය අවබෝධ කළ ධර්මයෙහි පරතෙර පැමිණි, මනා දැකුම් ඇති ඒ නුවණැති රහතුන් උපතෙහි ක්ෂය වීම අවබෝධ කරගෙන යළි පුනර්භවයකට නම් එන්නෙ නෑ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M