ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.5.4. අග්ගි සුත්තං

3.5.4. ගින්දර ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ ගින්දර වර්ග තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? රාගය නමැති ගින්න. ද්වේෂය නමැති ගින්න. මෝහය නමැති ගින්න. පින්වත් මහණෙනි, මේ තමයි ඒ ගිනි වර්ග තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“කාමයන් තුළ ඇලිලා මුසපත් වෙච්ච මිනිසුන්ව රාගය නමැති ගින්නෙන් පුච්චලා දානවා. තරහෙන් රත් වෙලා පර පණ නසන අයව ද්වේෂය නමැති ගින්නෙන් පුච්චලා දානවා.

මේ චතුරාර්ය සත්‍යය ධර්මය නොදන්නා වූ, මුළාවෙච්ච සිත් ඇති අයව මෝහය නමැති ගින්නෙන් පුච්චලා දානවා. මේ පංච උපාදානස්කන්ධයේ සතුටින් ඇලිලා ඉන්න සත්වයා නම් මෙවැනි ගින්දර තියෙන බව දන්නෙ නෑ.

මාර බන්ධනයෙන් නිදහස් නොවෙච්ච ඔවුන් තමයි නිරය වඩවන්නෙ. තිරිසන් ලෝකයේ වඩවන්නෙත් ඔවුන්ම තමයි. අසුර ලෝකයත්, ප්‍රේත ලෝකයත් වඩවන්නෙත් ඔවුන්ම තමයි.

නමුත් දිවා රෑ දෙකේම සම්මා සම්බුදු සසුනේ බවුන් වඩන කෙනා නිතර අශුභ සඤ්ඤාව වඩනවා නම්, ඔවුන් මේ රාගය නමැති ගින්දර නිවා දමනවා.

ඒ නරෝත්තමයන් ද්වේෂය නමැති ගින්න මෛත්‍රී සිසිලෙන් නිවා දමනවා. ඒ අමා නිවන වෙතම යන ප්‍රඥාවෙන් මෝහය නමැති ගින්නත් නිවා දමනවා.

දවල් රෑ දෙකේදීම තැනට සුදුසු නුවණින් යුතුව ඉන්න ඔවුන් ඉතුරු නැතිවම මේ ගිනි නිවා දමනවා. සියලු දුක් ඉතුරු නැතිවම ඉක්මවා ගිය ඔවුන් තමයි පිරිනිවන් පාන්නේ.

චතුරාර්ය සත්‍යය ධර්මය ඉතා හොඳින් අවබෝධ කරගෙන ධර්මයේ පරතෙරටම වැඩි ඔවුන් මනා දැක්මෙන් යුක්තයි. ඉපදීම ක්ෂය වී ගිය බව අවබෝධ වුන ඒ උතුමන් ආයෙ නම් පුනර්භවයකට එන්නෙ නෑ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M