ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.5.3. සංඝාටිකණ්ණ සුත්තං

3.5.3. සිවුරු කොණ ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු මගේ සිවුරේ කොණ අල්ලාගෙන මගේ පියවර අනුව පියවර තබමින් පසුපසින්, පසුපසින් එනවා. ඒත් ඔහු දැඩි ලෝභී කෙනෙක් නම්, පංච කාමයන් පිළිබඳව දැඩිව ඇළුනු කෙනෙක් නම්, විපරීත වෙච්ච සිතක් ඇති කෙනෙක් නම්, දූෂිත වෙච්ච අදහස් ඇති කෙනෙක් නම්, සිහි මුලා වෙච්ච කෙනෙක් නම්, මනා වූ ප්‍රඥාව නැති කෙනෙක් නම්, එකඟ සිතක් නැති කෙනෙක් නම්, බිරාන්ත වෙච්ච සිතක් ඇති කෙනෙක් නම්, ඉන්ද්‍රිය සංවරය නැති කෙනෙක් නම්, ඒ නිසාම ඔහු ඉන්නෙ මට වඩා ගොඩාක් දුරින්. මමත් ඉන්නේ ඔහුට ගොඩාක් දුරින්. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ධර්මය දකින්නෙ නෑ. ධර්මය නොදකින නිසා මාව දකින්නෙත් නෑ.

පින්වත් මහණෙනි, භික්ෂුවක් ඉන්නවා. ඔහු ඉන්නෙ මට වඩා යොදුන් සියයක් දුරින්. ඔහු ලෝභය නැති කෙනෙක්. පංච කාමයන් පිළිබඳව දැඩි ආශා ඇති කෙනෙකුත් නොවෙයි. විපරීත සිතක් තියෙන කෙනෙකුත් නොවෙයි. දූෂිත වෙච්ච අදහස් ඇති කෙනෙකුත් නොවෙයි. ඉතා හොඳින් සිහියේ පිහිටලයි ඉන්නෙ. හොඳ ප්‍රඥාවකිනුයි ඉන්නේ. සමාධිමත් සිතකුත් තියෙනවා. එකඟ වූ සිතකුත් තියෙනවා. ඉන්ද්‍රියනුත් සංවරයි. පින්වත් මහණෙනි, ඒ නිසාම ඔහු ඉන්නෙ මගේ ළඟින්මයි. මමත් ඉන්නෙ ඔහුගේ ළඟින්මයි. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ධර්මය දකිනවා. ධර්මය දකින නිසා මාව දකිනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“මාව ලුහු බැඳ බැඳ ආවත් ඔහු දැඩි ආශා ඇති කෙනෙක්. පීඩිත සිතකිනුයි ඉන්නේ. තණ්හාව රහිත කෙනා අතර ඔහු යන්නෙ තණ්හාව අනුවයි. නිවී ගිය සිත් ඇති කෙනා අතර ඔහු නොනිවුණු කෙනෙක්. ලෝභය ප්‍රහාණය කළ කෙනා අතර ඔහු යන්නෙ ගිජුකමෙන්. බුදුරජුන් පසුපස කොතරම් දුර ගියත් බුදුරජුන්ගෙන් දුරස් වී ඇති හැටි බලන්න.

ඒත් මේ ධර්මය හොඳට අවබෝධ කරගත්තු, ධර්මය දන්න ඤාණවන්ත අය ඉන්නවා. තණ්හාවෙන් තොර වූ ඔවුන් සංසිඳෙන්නෙ හරියට හුළං හමන්නෙ නැති තැනක තියෙන නිසල විලක් වගෙයි.

ඒ රහත් භික්ෂුව නිකෙලෙස් අය අතර නිකෙලෙස් කෙනෙක්. නිවුණු අය අතර නිවුණු කෙනෙක්. ගිජු නොවූ අය අතර ගිජු නොවූ කෙනෙක්. බුදු රජුන් සමීපයේම මොහු සිටින හැටි බලන්න.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M