භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනෙක් ලෝකයේ උපදිනවා. ඒ තුන් දෙනා උපදින්නේ බොහෝ දෙනාගේ යහපත පිණිසයි. බොහෝ දෙනාගේ සුවය පිණිසයි. අනුකම්පාව පිණිසයි. දෙව් මිනිසුන්ට අර්ථය පිණිසයි. යහපත පිණිසයි. සැපය පිණිසයි. ඒ තුන් දෙනා කවුද?
පින්වත් මහණෙනි, මෙහිලා තථාගතයන් වහන්සේ මේ ලෝකයේ උපදිනවා. උන්වහන්සේ අරහත්වයෙන් යුක්තයි. සම්මා සම්බුද්ධයි. විජ්ජාචරණ සම්පන්නයි. සුගතයි. ලෝකවිදුයි. අනුත්තර වූ පුරිසදම්මසාරථී ගුණයෙනුත් යුක්තයි. සත්ථා දේවමනුස්සානං ගුණයෙන් යුක්තයි. බුද්ධ ගුණයෙනුත් යුක්තයි. භගවා යන ගුණයෙනුත් යුක්තයි. උන්වහන්සේ දහම් දෙසන සේක. ඒ ධර්මයේ ආරම්භයත් කල්‍යාණයි. මැදත් කල්‍යාණයි. අවසානයත් කල්‍යාණයි. අර්ථ සහිතයි. නිවැරදි වචන ගැලපීමෙන් යුක්තයි. සියලු ආකාරයෙන්ම සම්පූර්ණයි. පිරිසිදු නිවන් මගත් දේශනා කරනවා. පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිස මේ ලෝකයේ පහළ වන පළවෙනි පුද්ගලයා.
ඒ ගැන තවදුරටත් කියනවා නම් පින්වත් මහණෙනි, ඒ ශාස්තෘන් වහන්සේගේම ශ්‍රාවක භික්ෂුවක් ඉන්නවා. ඔහු රහතන් වහන්සේ නමක්. ආශ්‍රවයන් ක්ෂය කරපු කෙනෙක්. නිවන් මග සම්පූර්ණ කර ගත් කෙනෙක්. උතුම් වූ අරහත්වය පිණිස කළ යුතු සියල්ලම කරපු කෙනෙක්. කෙලෙස් බර වීසි කරපු කෙනෙක්. මාර්ගඵල පිළිවෙලින් අරහත්වයට පත් වූ කෙනෙක්. සියලු භව බන්ධන ක්ෂය කරපු කෙනෙක්. අවබෝධයෙන්ම දුකින් නිදහස් වූ කෙනෙක්. ඉතින් උන්වහන්සේත් ධර්මය දේශනා කරනවා. එහි ආරම්භයත් කල්‍යාණයි. මැදත් කල්‍යාණයි. අවසානයත් කල්‍යාණයි. අර්ථ සහිතයි. නිවැරදි වචන ගැලපීමෙන් යුක්තයි. සියලු ආකාරයෙන්ම සම්පූර්ණ වූ පිරිසිදු ඒ අමා නිවන් මග ගැනයි දේශනා කරන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිස මේ ලෝකයේ පහළ වන දෙවෙනි පුද්ගලයා.
ඒ ගැන තවදුරටත් කියනවා නම් පින්වත් මහණෙනි, ඒ ශාස්තෘන් වහන්සේගේම ශ්‍රවක භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව නිවන් මඟ පුහුණු වෙන සේඛ ප්‍රතිපදාවෙන් යුක්තයි. බහුශ්‍රැතයි. උතුම් සිල්වත් බවටත් පැමිණිලායි ඉන්නේ. ඉතින් උන්වහන්සේත් මේ ධර්මය දේශනා කරනවා. එහි ආරම්භයත් කල්‍යාණයි. මැදත් කල්‍යාණයි. අවසානයත් කල්‍යාණයි. අර්ථ සහිතයි. නිවැරදි වචන ගැලපීමෙනුත් යුක්තයි. සියලු ආකාරයෙන්ම සම්පූර්ණ වූ පිරිසිදු ඒ අමා නිවන් මග ගැනයි දේශනා කරන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිස මේ ලෝකයේ පහළ වන තුන්වෙනි පුද්ගලයා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“මහාර්ෂී වූ ශාස්තෘන් වහන්සේ තමයි ලෝකයේ පළමු වෙනි පුද්ගලයා. ඊට පස්සේ උන්වහන්සේ අනුව යන, දියුණු කළ සිත් ඇති ශ්‍රාවක රහතන් වහන්සේයි. ඊටත් පස්සේ තමයි බහුශ්‍රැත වූ, සිල්වත් බවට පැමිණි සේඛ ප්‍රතිපදාවේ හික්මෙන සේඛ පුද්ගලයා.
මේ පුද්ගලයෝ තුන් දෙනා තමයි දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වෙන්නේ. සදහම් දෙසමින් ලොවම ඒකාලෝක කරන්නේ. ඒ අමා නිවන් දොර විවර කරන්නේ. ඒ නිසාම බොහෝ ජනයාත් සසර කතරින් එතෙර කරවනවා.
උත්තරීතර ගැල්කරුවාණන් වන බුදු සමිඳාණෝ ඉතා මැනැවින් දහම් දෙසූ සේක. ඉතින් ඒ සුගතයන් වහන්සේගේ සම්බුදු සසුනේ අප්‍රමාදීව, සදහම් මගේ ගමන් කරන ඒ ශ්රාවකයා මේ ජීවිතයේදීම සියලු දුක් කෙළවර කරලා දානවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M