භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, දෙවිවරුන් දෙව් ලොවින් චුත වෙන (මිය යන) කාලයක් එනවා. එතකොට ඔවුන්ට පෙර නිමිති පහක් පහළ වෙනවා. මල් මාලාවන් පරවෙලා යනවා. ඇඳගෙන ඉන්න වස්ත්‍ර කිලුටු වෙනවා. කිහිලිවලින් දාඩිය ගලනවා. ශරීරය දුර්වර්ණ බවට පැමිණෙනවා. ඒ දෙවියාට තමන්ගේ දිව්‍ය විමානයේ සතුටින් ඉන්න බැරි වෙනවා.
එතකොට පින්වත් මහණෙනි, අනිත් දෙවිවරු දැනගන්නවා ‘මේ දිව්‍ය පුත්‍රයා දෙව්ලොවින් චුත වෙන ස්වභාවයට ඇවිල්ලයි ඉන්නේ’ කියලා. දැනගෙන වචන තුනකින් (ඒ දිව්‍ය පුත්‍රයාව) අස්වසනවා. ‘පින්වත, මෙහෙන් චුත වෙලා සුගතියට යන්න. සුගතියට ගිහිල්ලා උතුම් ලැබීම ලබන්න. උතුම් ලැබීම ලබලා ඒකෙ හොඳින් පිහිටන්න’ කියලා.”
මේ කාරණය වදාළාට පස්සේ එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
“ස්වාමීනී, දෙවිවරුන් සුගතියට පැමිණීම කියලා කියන්නෙ මොකක්ද? ස්වාමීනී, දෙවිවරුන්ගේ උතුම් ලැබීම කියලා කියන්නේ මොකක්ද? ස්වාමීනී, දෙවිවරුන්ගේ ඉතා හොඳින් පිහිටීම කියලා කියන්නේ මොකක්ද?”
“පින්වත් භික්ෂුව, මිනිසත් බව ලැබීම තමයි දෙවියන්ගේ සුගතියට පැමිණීම කියලා කියන්නේ. ඒ මිනිසත් බවට පත්වෙලා තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්මය ගැන ශ්‍රද්ධාවට පැමිණීම තමයි උතුම් ලැබීම කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව ඔහුගේ සිත තුළ පිහිටලා මුල් බැසගෙන ස්ථාවර වෙලා තියෙන කොට ලෝකයේ කිසිම ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයා විසින් හෝ ලෝකයේ වෙන කවුරු විසින් හෝ ඔහුගේ ඒ ශ්‍රද්ධාව නැති කරලා දාන්න බැරි නම්, පින්වත් මහණෙනි, මේක තමයි දෙවියන්ගේ ‘ඉතා හොඳින් පිහිටීම’ කියලා කියන්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“ආයුෂ ගෙවී යාමෙන් දෙවි කෙනෙක් දෙව්ලොවින් චුත වෙනවා. එතකොට ඔහුව අස්වසන දෙවිවරුන්ගේ තුන් ආකාරයක අස්වැසිලි වචන නිකුත් වෙනවා.
පින්වත, ඔබ මෙහෙන් චුත වෙලා මිනිසත් බව ඇති සුගතියට යන්න. මිනිසත් බව ලබලා ශ්‍රී සද්ධර්මය ගැන උත්තරීතර ශ්‍රද්ධාව ලබාගන්න.
ඒ ශ්‍රද්ධාවට පැමිණිලා ඒකෙ මුල් බැසලා පිහිටන්න. එතකොට මනා කොට දෙසූ ඒ සදහම් ගැන පිහිටි ශ්‍රද්ධාව ජීවිතේ තියෙන තාක්කල්ම එය කාටවත් උදුරාගන්න බෑ.
කාය දුසිරිතත්, වචී දුසිරිතත් අත්හරින්න. මනෝ දුසිරිතත්, වෙන දොස් සහිත වූ අකුසලුත් අත්හරින්න.
කයෙනුත්, වචනයෙනුත් බොහෝ කුසල් කර මනසිනුත් පිරිසිදු වූ කුසල් අප්‍රමාණව කරන්න.
ඒ විදිහට දන් දීමෙනුත් මතුවට සැප ලබාදෙන පින් ගොඩාක් කරන්න. අනිත් මිනිසුන්වත් ධර්මයේ පිහිටුවන්න. බ්‍රහ්මචරියාවේ පිහිටුවන්න.
මේ විදිහට දෙවිවරුන් යම් වෙලාවක චුත වෙන දෙවිකෙනෙක්ව දකිනවා නම් ඔය වචන කියන්නේ අනුකම්පාවෙන්මයි. ඒ වගේම ඒ දෙවියාගේ සිතේ දුක නැති කරන අදහසින් ‘දෙවිය, ඔබ ආයෙ ආයෙමත් මෙහි එන්න’ කියලා සතුටු කරවනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M