ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.4.3. දේවසද්ද සුත්තං

3.4.3. දෙවියන්ගේ දිව්‍ය කතා බහ ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, දෙවියන් අතර කලින් කල ඇතිවන මේ තුන් ආකාරයක දිව්‍ය වූ කතාබහක් තියෙනවා.

පින්වත් මහණෙනි, ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු යම් වෙලාවක කෙස් රැවුල් බාලා, කසාවත් පොරවලා ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පත්වෙන්න හිතනවා. අන්න ඒ වෙලාවෙදී දෙවිවරු අතර දිව්‍ය කතා බහක් ඇතිවෙනවා. ‘ඔන්න මේ ආර්ය ශ්‍රාවකයා මාරයාත් එක්ක යුද්ධ කරන්න කල්පනා කරනවා’ කියලා. පින්වත් මහණෙනි, මේ තමයි දෙවිවරු අතර කලින් කල ඇතිවන පළමුවෙනි දිව්‍ය කතා බහ.

ඒ ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, ආර්ය ශ්‍රාවකයා යම් වෙලාවක සත් කොටසකින් යුත් බෝධිපාක්ෂික ධර්ම දියුණු කිරීමේ යෙදිලා ඉන්නවා. අන්න ඒ වෙලාවෙත් පින්වත් මහණෙනි, දෙවිවරු අතර මේ දිව්‍යමය වූ කතා බහ ඇතිවෙනවා. ‘මේ ආර්ය ශ්‍රාවකයා මාරයාත් එක්ක යුද්ධ කරනවා’ කියලා. පින්වත් මහණෙනි, මේ තමයි දෙවිවරු අතර කලින් කල ඇතිවන දෙවෙනි දිව්‍ය කතා බහ.

ඒ ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයා ආශ්‍රව ක්ෂය කිරීමෙන් ලබන ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන් විසින්ම සුවිශේෂ ඤාණයකින් යුතුව සාක්ෂාත් කරනවා. එයට පැමිණිලා වාසය කරනවා. අන්න ඒ වෙලාවෙත් පින්වත් මහණෙනි, දෙවිවරු අතර මේ දිව්‍යමය වූ කතා බහ ඇතිවෙනවා. ‘ඔන්න මේ ආර්ය ශ්‍රාවකයා යුද්ධය දිනුවා. යුද්ධ භූමියේ ජය ලබලා වාසය කරනවා’ කියලා. පින්වත් මහණෙනි, මේ තමයි දෙවිවරු අතර කලින් කල ඇතිවන තුන්වෙනි දිව්‍ය කතා බහ.

පින්වත් මහණෙනි, මේ තමයි දෙවියන් අතර කලින් කල ඇතිවෙන තුන් ආකාරයක දිව්‍ය කතා බහ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“යුද්ධය දිනපු ඒ සම්මා සම්බුදු ශ්‍රාවකයා දැකලා දෙවියෝ පවා ඒ මහා ප්‍රඥාවන්තයාට නමස්කාර කරනවා.

‘ආජානීය වූ පුරුෂ ශ්‍රේෂ්ඨයාණෙනි, මුඹ වහන්සේට නමස්කාර වේවා! ඒ ඔබ දිනන ලද්දේ ජය ගැනීමට ඉතා අසීරු වූ යුද්ධයකිනි. මාර සේනාව සිඳ බිඳ දැම්මා. ඔබගේ ඒ චිත්ත විමෝක්ෂය කිසිවෙකුටත් වළකාලිය නොහැකිය.’

උත්තරීතර නිවනට පත් වූ සිත් ඇති උතුමන්ට දෙවියන් පවා ඔය විදිහට නමස්කාර කරනවා. යම් කරුණකින් ඒ උතුමන් යළින් මරු වසඟයට පැමිණෙනවා නම්, එබඳු කරුණක් දෙවියන්ටවත් දැකගන්න බැහැ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M