ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.4.2. සක්කාර සුත්තං

3.4.2. සත්කාර ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා මේ සත්වයන් සත්කාර සම්මානවලට යටවෙලා, සිතේ කුසල් දහම් පවා නැති කරගන්නවා. කය බිඳිලා මැරුණට පස්සේ අපාය, දුගතිය නම් වූ විනිපාත නිරයේ උපදිනවා.

පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා මේ සත්වයන් සත්කාර සම්මාන නැති නිසා, ඒ පීඩාවෙන් යටවෙච්ච සිත් ඇතිව ඉන්නවා. සිතේ කුසල් දහම් පවා නැති කරගන්නවා. කය බිඳිලා මැරුණට පස්සේ අපාය, දුගතිය නම් වූ විනිපාත නිරයේ උපදිනවා.

පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා මේ සත්වයන් සත්කාර සම්මානත්, අසත්කාර අසම්මානත් කියන මේ දෙකම නිසා ඒවායෙන් යටවෙච්ච සිතින් ඉන්නවා. ඒකෙන් සිතේ කුසල් දහම් පවා නැති කරගන්නවා. කය බිඳිලා මැරුණට පස්සේ අපාය, දුගතිය නම් වූ විනිපාත නිරයේ උපදිනවා.

පින්වත් මහණෙනි, මං මේ කාරණය කියන්නේ වෙනත් ශ්‍රමණයෙකුගෙන් හරි බ්‍රාහ්මණයෙකුගෙන් හරි අහලා නොවෙයි. ඒ කියන්නේ පින්වත් මහණෙනි, මා විසින්ම දැනගත්තු, මා විසින්ම දැකපු, මා විසින්ම අවබෝධ කරපු දෙයක්ම තමයි මේ කියා දෙන්නේ.

‘පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා මේ සත්වයන් සත්කාර සම්මානවලට යටවෙලා, සිතේ කුසල් දහම් පවා නැති කරගන්නවා. කය බිඳිලා මැරුණට පස්සේ අපාය, දුගතිය නම් වූ විනිපාත නිරයේ උපදිනවා.

පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා මේ සත්වයන් සත්කාර සම්මාන නැති නිසා, ඒ පීඩාවෙන් යටවෙච්ච සිත් ඇතිව ඉන්නවා. සිතේ කුසල් දහම් පවා නැති කරගන්නවා. කය බිඳිලා මැරුණට පස්සේ අපාය, දුගතිය නම් වූ විනිපාත නිරයේ උපදිනවා.

පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා මේ සත්වයන් සත්කාර සම්මානත්, අසත්කාර අසම්මානත් කියන මේ දෙකම නිසා ඒවායෙන් යටවෙච්ච සිතින් ඉන්නවා. ඒකෙන් සිතේ කුසල් දහම් පවා නැති කරගන්නවා. කය බිඳිලා මැරුණට පස්සේ අපාය, දුගතිය නම් වූ විනිපාත නිරයේ උපදිනවා.

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“අප්‍රමාදීව ජීවත් වෙන අරහත් භික්ෂුවගේ ඒ උතුම් සමාධිය සත්කාර සම්මානවලට හෝ අසත්කාරවලට හෝ මේ දෙකටම හෝ සැලෙන්නෙ නෑ.

ඔහු දැඩි සිතින් ධ්‍යාන වඩනවා. ඉතා සියුම් කරුණු පවා හොඳ ප්‍රඥාවෙන් දකිනවා. උපාදාන ක්ෂය කර දැමීමේම ඇලුණු ඒ උතුමාට තමයි ‘සත්පුරුෂයා’ කියලා කියන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M