ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.3.7. සුඛපත්ථනා සුත්තං

3.3.7. සැපය පැතීම ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, නුවණැති කෙනා මේ තුන් විදිහක සැප පතමින් සිල් රකිනවා. ඒ තුන මොනවාද? නුවණැති කෙනා මේකෙන් ‘මට ප්‍රශංසාවක්ම ලැබේවා!’ කියලා සිල් ආරක්ෂා කරනවා. මේකෙන් ‘මට භෝග සම්පත් ලැබේවා!’ කියා නුවණැති කෙනා සිල් ආරක්ෂා කරනවා. මේකෙන් ‘මම කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා’ කියලා නුවණැති කෙනා සිල් ආරක්ෂා කරනවා. පින්වත් මහණෙනි, මේ සැප තුන පතමින් නුවණැති කෙනා සිල් ආරක්ෂා කරනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“ප්‍රශංසාව ලැබීමත්, වස්තු ලාභයත්, මරණින් පස්සේ ලැබෙන ස්වර්ග සැපත් තියෙනවා. ඉතින් ඤාණවන්ත කෙනා මෙන්න මේ සැප තුන බලාපොරොත්තුවෙන් සිල් රකිනවා.

ඉතින් පව් කරන්නෙ නැති වුනත්, පව් කරන අයව ඇසුරු කරනවා නම්, එහෙම වුනාම එයාවත් පව් කරන කෙනෙක් හැටියට සැකයට භාජනය වෙනවා. නරක රාවයක් පැතිරී යනවා.

යම් විදිහක කෙනෙක් එක්ක නම් මිතුරුකම් කරන්නේ, යම් විදිහක කෙනෙක් නම් ආශ්‍රය කරන්නේ, ඔහු අන්න ඒ විදිහේ කෙනෙක් වෙනවා. ඔහු සමඟ එකට ආශ්‍රය කිරීමත් ඒ වගේමයි.

දිගින් දිගටම කෙනෙක්ව ඇසුරු කරන කොට අනිත් කෙනාගේ ගතිගුණ අර ඇසුරු කරන කෙනාටත් පුරුදු වෙනවා. විෂ පොවපු ඊතලයක් නිතර නිතර හොඳ ඊතල ගොඬේ දමනවා නම්, ඒ ඊතලවලත් විෂ තැවරෙනවා. ඒ වගේ නුවණැති කෙනෙක් වුනත්, පාපී යහළුවන් ඇසුරු නොකළ යුත්තේ පව් තවරා ගන්නට තියෙන භය නිසාමයි.

යම් කෙනෙක් කුණුවෙච්ච මස් ටිකක් අරගෙන ඒක තණකොළවලින් වෙලනවා. ඊට පස්සේ ඒ තණකොළත් කුණු ගඳ ගහනවා. පව්කාරයා ආශ්‍රය කරන කොටත් ඔන්න ඔය විදිහයි.

කෙනෙක් තුවරලා කියන සුවඳ ද්‍රව්‍ය අරගෙන කොලයක ඔතනවා. ඊට පස්සේ ඒ කොලයෙනුත් හමන්නේ ඒ සුවඳමයි. උතුම් අය ආශ්‍රය කරන කොටත් ඔන්න ඔය වගේ තමයි.”

ඒ නිසා නුවණ තියෙන කෙනා ඔතන දෙයින් කොළයේ ගඳසුවඳ ඇතිවන බව දැන ඒ අයුරින් තමාටත් අසත්පුරුෂ – සත්පුරුෂ දෙකෙන් විපාක ලැබෙන බව දැන අසත්පුරුෂ ඇසුර දුරුකර දමන්නට ඕනෑ. සත්පුරුෂයන් ම යි සේවනය කළ යුත්තේ. අසත්පුරුෂයෝ අන්‍යයන්ව නිරයට පමුණුවනවා. සත්පුරුෂයෝ අන්‍යයන්ව සුගතියට පමුණුවනවා.

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M