භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ පුත්‍රයන් තිදෙනෙක් ලෝකයේ දකින්න ලැබෙනවා. ඒ තුන්දෙනා කවුද? අතිජාත, අනුජාත, අවජාත.
පින්වත් මහණෙනි, කෙහොමද පුත්‍රයෙක් අතිජාත වෙන්නේ? පින්වත් මහණෙනි, යම් පුත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ මව්පියන් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා නෑ. ධර්මය සරණ ගිහිල්ලත් නෑ. ආර්ය සංඝයා සරණ ගිහිල්ලත් නෑ. සතුන් මැරීමෙන් වැළකිලත් නෑ. සොරකම් කිරීමෙන් වැළකිලත් නෑ. වැරදි කාම සේවනයෙන් වැළකිලත් නෑ. බොරු කීමෙන් වැළකිලත් නෑ. මත්වීමටත්, ප්‍රමාදයටත් හේතුවෙන සුරාවෙන් වැළකිලත් නෑ. දුස්සීලයි. පාපී ස්වභාවයෙන් යුක්තයි. එහෙත් ඔවුන්ගේ පුතා බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා ඉන්නේ. ධර්මය සරණ ගිහිල්ලා ඉන්නේ. ආර්ය සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ. සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන සුරාවෙනුත් වැළකිලා ඉන්නේ. ඔහු සිල්වත්. යහපත් ස්වභාවයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහේ පුතාට තමයි ‘අතිජාත පුත්‍රයා’ කියන්නේ.
පින්වත් මහණෙනි, කෙහොමද පුත්‍රයෙක් අනුජාත වෙන්නේ? පින්වත් මහණෙනි, යම් පුත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ මව්පියන් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා ඉන්නේ. ධර්මය සරණ ගිහිල්ලා ඉන්නේ. ආර්ය සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ. සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන සුරාවෙනුත් වැළකිලා ඉන්නේ. ඔවුන් සිල්වත්. යහපත් ස්වභාවයෙන් යුක්තයි. ඔවුන්ගේ පුතාත් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා. ධර්මය සරණ ගිහිල්ලා. ආර්ය සංඝයා සරණ ගිහිල්ලා. සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන සුරාවෙනුත් වැළකිලා ඉන්නේ. ඔහු සිල්වත්. යහපත් ස්වභාවයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහේ පුතාට තමයි ‘අනුජාත පුත්‍රයා’ කියන්නේ.
පින්වත් මහණෙනි, කෙහොමද පුත්‍රයෙක් අවජාත වෙන්නේ? පින්වත් මහණෙනි, යම් පුත්‍රයෙක් ඉන්නවා. ඔහුගේ මව්පියන් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලයි ඉන්නේ. ධර්මය සරණ ගිහිල්ලයි ඉන්නේ. ආර්ය සංඝයා සරණ ගිහිල්ලයි ඉන්නේ. සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, මත්වීමටත් ප්‍රමාදයටත් හේතුවන සුරාවෙනුත් වැළකිලා ඉන්නේ. ඔවුන් සිල්වත්. යහපත් ස්වභාවයෙන් යුක්තයි. ඒත් ඔවුන්ගේ පුතා බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා නෑ. ධර්මය සරණ ගිහිල්ලත් නෑ. ආර්ය සංඝයා සරණ ගිහිල්ලත් නෑ. සතුන් මැරීමෙන් වැළකිලත් නෑ. සොරකම් කිරීමෙන් වැළකිලත් නෑ. වැරදි කාම සේවනයෙන් වැළකිලත් නෑ. බොරු කීමෙන් වැළකිලත් නෑ. මත්වීමටත්, ප්‍රමාදයටත් හේතුවෙන සුරාවෙන් වැළකිලත් නෑ. දුස්සීලයි. පාපී ස්වභාවයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහේ පුතාට තමයි ‘අවජාත පුත්‍රයා’ කියන්නේ. පින්වත් මහණෙනි, මෙන්න මේ තමයි ලෝකයේ ඉන්න පුතුන් තුන් දෙනා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“ඤාණවන්ත කෙනා අතිජාත, අනුජාත පුත්‍රයන් තමයි කැමති වෙන්න ඕන. පවුල් ගඳ ගස්සන අවජාත පුත්‍රයාට නම් කවුරුත් කැමති වෙන්නෙ නෑ.
ඒ දෙන්නටම තමයි ලෝකයේ නියම පුත්‍රයෝ කියලා කියන්නේ. ඔවුන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ. ඔවුන් ශ්‍රද්ධාවන්තයි. සීලයෙනුත් යුක්තයි. අන් අයගේ ධාර්මික අවශ්‍යතා දන්නවා. මසුරු නෑ. ඔවුන් පිරිස් අතර බබලන්නේ හරියට වළාකුලින් මිදුන සඳ වගේ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M