ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.2.9. පඨම රාග සුත්තං

3.2.9. රාගය ගැන වදාළ පළමු දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, කෙනෙක් ඉන්නවා, ඔහුගේ රාගය ප්‍රහීණ වෙලා නෑ. ද්වේෂය ප්‍රහීණ වෙලා නෑ. මෝහය ප්‍රහීණ වෙලා නෑ. පින්වත් මහණෙනි, මොහුට තමයි කියන්නේ මාරයාට බැඳුන කෙනා කියලා. මාරයාගේ තොණ්ඩුවට අහුවුන කෙනා කියලා. පාපී මාරයා විසින් කැමති දෙයක් කරන්න පුලුවන් වුන කෙනා කියලා.

පින්වත් මහණෙනි, කෙනෙක් ඉන්නවා, ඔහුගේ රාගය ප්‍රහීණ වෙලා. ද්වේෂය ප්‍රහීණ වෙලා. මෝහය ප්‍රහීණ වෙලා. පින්වත් මහණෙනි, මොහුට තමයි කියන්නේ මාරයාට නොබැඳුන කෙනා කියලා. මාරයාගේ තොණ්ඩුව අයින් කරපු කෙනා කියලා. මාරයා විසින් කැමති දෙයක් කරන්න බැරි කෙනා කියලා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“යම් කෙනෙක් තුළ රාගයත්, ද්වේෂයත්, මෝහයත්, අවිද්‍යාවත් දුරු වෙලා නම් තියෙන්නේ ඔහු දියුණු කළ සිත් ඇති අය අතර කෙනෙක්. ශ්‍රේෂ්ඨත්වයට පත් වූ කෙනෙක්. තථාගත (අරහත්) බවට පත් වූ කෙනෙක්. ආර්ය සත්‍යය අවබෝධ කළ කෙනෙක්. භය වෛර ඉක්මවා ගිය කෙනෙක්. හැම අකුසල්ම දුරු කළ කෙනෙක් කියලයි ඔහුට කියන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M