ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.1.5. පඨම ඒසනා සුත්තං

3.1.5. සෙවීම් ගැන වදාළ පළමු දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ සෙවීම් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කාමය සෙවීම, භවය සෙවීම, බ්‍රහ්මචරියාව සෙවීම. පින්වත් මහණෙනි, මේ තමයි ඒ සෙවීම් තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“සමාහිත සිත් ඇති හොඳ සිහි නුවණ ඇති සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයා මේ සෙවීම් ගැනත් අවබෝධ කරනවා, සෙවීම්වල හටගැනීම ගැනත් අවබෝධ කරනවා.

යම් තැනකදී මේවා නිරුද්ධ වෙනවා නම්, එයත් අවබෝධ කරනවා. සෙවීම් ක්ෂය වෙලා යන ආර්ය මාර්ගයත් අවබෝධ කරනවා. සියලු සෙවීම් ක්ෂය කරලා දාපු ඒ භික්ෂුව කෙලෙස් පිපාසයෙන් තොරව පිරිනිවන් පානවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M