ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.1.4. දුතිය වේදනා සුත්තං

3.1.4. විඳීම් ගැන වදාළ දෙවෙනි දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ විඳීම් (වේදනා) තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? සැප වේදනාව, දුක් වේදනාව, දුක් සැප රහිත වේදනාව. පින්වත් මහණෙනි, මේ තමයි විඳීම් තුන.

පින්වත් මහණෙනි, සැප වේදනාව දුකක් හැටියට දකින්න ඕන. දුක් වේදනාව උලක් හැටියට දකින්න ඕන. දුක් සැප රහිත වේදනාව අනිත්‍ය හැටියට දකින්න ඕන. පින්වත් මහණෙනි, භික්ෂුව යම් වෙලාවක මේ සැප වේදනාව දුකක් හැටියට දැක්කා නම්, දුක් වේදනාව උලක් හැටියට දැක්කා නම්, දුක් සැප රහිත වේදනාව අනිත්‍ය විදිහට දැක්කා නම්, පින්වත් මහණෙනි, මෙන්න මේ භික්ෂුවට තමයි ආර්යන් වහන්සේ කියන්නේ. නිවැරදිව දැකගත්තා කියන්නේ. තණ්හාව සිඳලා දැම්මා කියන්නේ. සසර බන්ධන අනිත් පැත්තට පෙරළලා දැම්මා කියන්නේ. මාන්නය නියම විදිහට අවබෝධ කරලා දුක් කෙළවර කර දැම්මා කියන්නේ.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“ඔහු සැප වේදනාව දුකක් හැටියටයි දැක්කේ. දුක දැක්කෙ උලක් හැටියටයි. ශාන්තව තියෙන දුක් සැප රහිත බව දැක්කෙ අනිත්‍ය දෙයක් හැටියට.

ඒ නිසාම කෙලෙසුන්ගෙන් නිදහස් වන ඒ භික්ෂුව තමයි නිවැරදිව දැක්කා වෙන්නේ. උත්තරීතර ප්‍රඥාවෙන් සම්පූර්ණවෙච්ච ඒ ශාන්ත මුනිවරයා තමයි සතර වැදෑරුම් කෙලෙස් බන්ධන ඉක්මවා ගියේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M