භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, ලෝකය පාලනය කරන මේ කුසල් දහම් දෙකක් තියෙනවා. මොනවද ඒ දෙක? පව් කරන්න තියෙන ලැජ්ජාවත් (හිරි), පව් කරන්න තියෙන බියත් (ඔත්තප්ප) කියන දෙක. පින්වත් මහණෙනි, මේ කුසල් දහම් දෙක විසින් ලෝකය පාලනය නොකරනවා නම්, ‘මේ ඉන්නේ අම්මා කියලාවත්, මේ ඉන්නේ සුළු මව කියලාවත්, මේ ඉන්නෙ නැන්දා කියලාවත්, මේ ඉන්නෙ ආචාර්යවරයාගේ භාර්යාව කියලාවත්, මේ ඉන්නෙ ගරු කටයුත්තන්ගේ භාර්යාවන් කියලාවත් තැකීමක් කරන්නේ නෑ. (ඒ විදිහට වුනේ නැත්නම්) මේ ලෝ වැසියෝ එළු බැටළුවෝ වගේ, කුකුල්ලු ඌරො වගේ, බල්ලො හිවල්ලු වගේ සම්භෝගයට පැමිණෙනවා. පින්වත් මහණෙනි, මේ කුසල් දහම් දෙකින් ලෝකය පාලනය කරනවා. ඒ නිසා තමයි ‘මේ අම්මා කියලා, මේ සුළු මව කියලා, මේ නැන්දා කියලා, මේ ආචාර්යවරයාගේ භාර්යාව කියලා, මේ ගරුකටයුත්තන්ගේ භාර්යාවන් කියලා’ පැණවීමක් තියෙන්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“යම් අය තුළ හැම තිස්සේම මේ ලැජ්ජාව, භය කියන දෙක පිහිටල නැත්නම්, කුසල් මුල්වලින් ගිලිහිච්ච ඔවුන් ජාති, ජරා, මරණයටම පැමිණෙන අය වෙනවා.
එහෙත් යම් කෙනෙකුට ලැජ්ජා භය දෙක හැම තිස්සෙම හොඳින් පිහිටලා තියෙනවා නම්, බඹසරෙහි වැඩුණු ඒ ශාන්ත උතුමන් තමයි මේ පුනර්භවය ක්ෂය කරලා දාන්නේ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M