භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, හේතු ප්රත්යයන්ගෙන් හට නොගත් නිසා හට නොගත්තා වූ, සකස් නොවූ, කිසිවෙකු විසින් නොකළා වූ, වෙනස් වන ධර්මතාවට අයත් නොවූ (නිවන කියලා) දෙයක් තියෙනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට හට නොගත්, සකස් නොවූ, කිසිවෙකු විසින් නොකළ, වෙනස් වන ධර්මතාවට අයත් නොවෙන මේ දේ (නිවන) නොතිබුනා නම්, හේතු ප්රත්යයන්ගෙන් හට ගත් නිසා හටගත්තා වූ, සකස් වූ, කරන ලද්දා වූ, වෙනස් වන ධර්මතාවට අයත් වූ (දුක නම් වූ) මේ දෙයින් නිදහස් වීමක් ලැබෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් හෙයකින් හට නොගත්තා වූ, සකස් නොවූ, කිසිවෙකු විසින් නොකළා වූ, වෙනස් වන ධර්මතාවට අයත් නොවූ දෙයක් (නිවන) තියෙන නිසා තමයි මේ හට ගත්තා වූ, සකස් වූ, කරන ලද්දා වූ, වෙනස් වන ධර්මතාවයට අයිති වූ දෙයින් (දුකෙන්) නිදහස් වීමක් තියෙන්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“හට ගත්, සකස් වූ, උපන්, කරන ලද, හේතු ඵල දහමින් සකස් වූ මේ දේවල් ඒකාන්තයෙන්ම අස්ථිරයි. ජරා, මරණ සමඟ එකට බැඳිලයි තියෙන්නෙ. ලෙඩ රෝගයන්ට කැදැල්ලක් වගේ තියෙන්නේ. සැණෙකින් බිඳිලා යනවා. ආහාර පිළිබඳව ඇති තණ්හාව හේතු කොට ගෙන හැදිල තියෙන මේ ජීවිතය ‘මම, මගේ’ කියලා පිළිගන්න කොහෙත්ම සුදුසු නෑ.
ඒ පංච උපාදානස්කන්ධ දුකෙන් නිදහස් වීම ශාන්ත දෙයක්මයි. ඒක තර්කයට ගෝචර නොවන දෙයක්මයි. ස්ථිර දෙයක්මයි. හේතු ඵල දහමෙන් හට නොගත් දෙයක්මයි. යමකින් නූපන් දෙයක්මයි. ශෝක රහිත දෙයක්මයි. නිකෙලෙස් දෙයක්මයි. ඒ අමා නිවන යනු මේ දුක නිරුද්ධ වීමමයි. සංස්කාරයන්ගේ සංසිඳීමමයි මෙතැන තියෙන සැපය.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M