ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

2.1.10. සෝමනස්ස සුත්තං

2.1.10. සතුටින් විසීම ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, කරුණු දෙකකින් සමන්විත භික්ෂුව මේ ජීවිතයේදීම ගොඩාක් සැපෙන්, සතුටින් ජීවත් වෙනවා. ඒ කාාරණයෙන් ඔහු ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස පටන්ගත් වීරියෙනුත් යුක්ත වෙනවා. ඒ කරුණු දෙක මොකක්ද? සංවේගයට පත්විය යුතු තැන්වලදී සංවේගයට පත්වීමත්, ඒ විදිහට සංවේගයට පත්වෙලා නුවණින් යුතු වීරිය කිරීමත් කියන දෙක. පින්වත් මහණෙනි, මෙන්න මේ කාරණා දෙකින් සමන්විත භික්ෂුව මේ ජීවිතයේදීම ගොඩාක් සැපෙන්, සතුටින් වාසය කරනවා. ඒ නිසා ඔහු අරහත්වය පිණිස වුවමනා වැඩපිළිවෙලත් පටන් ගත්තා වෙනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“කෙලෙස් නසා දැමීමේ වීරිය තියෙන, අමා නිවන් මග ගැන අතිශයින් දක්ෂ භික්ෂුවක් ඉන්නවා. ඔහු නුවණින් විමසා බලන කෙනෙක්. ඒ ඤාණවන්තයා සංවේගයට පත්විය යුතු තැන්වල සංවේගයට පත්වෙනවා.

මේ විදිහට කෙලෙස් තවන වීරියෙන් යුක්තව, ශාන්ත ගති පැවතුම්වලින් යුක්තව, සංසිඳීමෙන් යුක්තව චිත්ත සමථයෙහි භාවනා වශයෙන් යෙදී සිටින භික්ෂුව සියලු දුක් නැති කිරීමට පැමිණෙනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

පළමුවෙනි වර්ගය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M