භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ විතර්ක දෙකක් බහුල වශයෙන් පවතිනවා. පින්වත් මහණෙනි, කිසි බියක් සැකක් නැති (ක්ෂේම වූ) කල්පනාවත්, ඉතා ගැඹුරු වූ හුදෙකලා විවේකයත් යන දෙකයි. ඒ නිසා පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ අහිංසාවේමයි ඇලී සිටින්නේ. අහිංසාව තුළමයි රැඳී සිටින්නේ. පින්වත් මහණෙනි, අහිංසාවේම ඇලී සිටින, අහිංසාව තුළම රැඳී සිටින තථාගතයන් වහන්සේට මේ විතර්කමයි බහුලව පවතින්නේ. ‘තැති ගන්නා අය වේවා, තැති නොගන්නා අය වේවා කිසිම කෙනෙක්ව මම ගත කරන මේ ඉරියව්වලින් නොපෙලන්නෙමි’ කියලා. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ඉතා ගැඹුරු හුදෙකලා විවේකයේ ඇලී ඉන්නේ. ඉතා ගැඹුරු හුදෙකලා විවේකයේ රැඳී ඉන්නේ. පින්වත් මහණෙනි, ඒ විදිහට ඉතා ගැඹුරු හුදෙකලා විවේකයේ ඇලී ඉන්න, ඉතා ගැඹුරු හුදෙකලා විවේකයේ රැඳී ඉන්න තථාගතයන් වහන්සේට බහුලව පවතින්නේ මෙන්න මේ විතර්කය තමයි. ‘යම් අකුසලයක් තිබුනා නම්, ඒ සියල්ලම දැන් ප්‍රහීණයි’ කියලා.
ඒ නිසා පින්වත් මහණෙනි, ඔබ පවා අහිංසාවේම ඇලී සිටින්න. අහිංසාවේම රැඳී සිටින්න. පින්වත් මහණෙනි, ඒ විදිහට අහිංසාවේ ඇලී සිටින කොට අහිංසාවේ රැඳී සිටින කොට ඔබ තුළත් මේ විතර්කය බහුලව පවතීවි. ‘තැති ගන්නා අය වේවා, තැති නොගන්නා අය වේවා කිසිම කෙනෙක්ව අප ගත කරන මේ ඉරියව්වලින් නොපෙලන්නෙමි’ කියලා. පින්වත් මහණෙනි, ඔබත් ඉතා ගැඹුරු හුදෙකලා විවේකයේ ඇලී සිටින්න. ඉතා ගැඹුරු හුදෙකලා විවේකයේ රැඳී සිටින්න. පින්වත් මහණෙනි, ඒ විදිහට ඉතා ගැඹුරු හුදෙකලා විවේකයේ ඇලී ඉන්න කොට, ඉතා ගැඹුරු හුදෙකලා විවේකයේ රැඳී ඉන්න කොට ඔබටත් බහුලව පවතින්නේ මෙන්න මේ විතර්කය තමයි. ‘අකුසලය කුමක්ද? ප්‍රහීන නොවී තිබෙන්නේ කුමක්ද? කුමක් ප්‍රහාණය කරමු ද?’ කියලා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“වෙන කෙනෙකුට ඉසිලිය නොහැකි අනන්ත ගුණ දහම් උසුලා දරා සිටින තථාගත වූ බුදුරජාණන් වහන්සේට විතර්ක දෙකක් පවතිනවා. පළමුවෙන්ම කිව්වේ ක්ෂේම විතර්කයයි. ඊට පස්සේ ඉතා ගැඹුරු හුදෙකලා විවේකය ගැන තියෙන විතර්කය තමයි දෙවෙනුව ප්‍රකාශ කළේ.
ඒ ඉසිවර වූ බුදු සමිඳාණන් මෝහාන්ධකාරය දුරු කොට වදාළා. සසරෙන් එතෙරට වැඩම කළා. පැමිණිය යුතු පරම උත්තම ස්ථානයට පැමිණ වදාළා. සිත තමන්ගේ වසඟයට ගත්තා. ආශ්‍රව රහිත වුනා. තණ්හාව ක්ෂය කරගත්තා. කෙලෙසුන්ගෙන් නිදහස් වුනා. අන් අයවත් සසරින් එතෙර කොට වදාළා. ඒ මුනිඳාණන් මේ දරන්නේ අන්තිම සිරුරයි. උන්වහන්සේ පවිටු මාරයාවත් දුරු කොට වදාළා. ජරා මරණ ලෝකයෙන් එතෙර වී වදාළා.
ශෛලමය පර්වතයක් මුදුනට නැඟ ගත් කෙනෙක් ඉන්නවා. ඔහුට වටපිටාවේ හාත්පසින් ඉන්න ජනතාව හොඳට දකින්න පුළුවනි. අන්න ඒ වගේ තමයි, මහා ප්‍රාඥ වූ, හැමදේම දකින ඇස් ඇති බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් නිර්මිත වූ ප්‍රාසාදයටත් නැඟ ශෝක රහිත වෙලා බලා වදාරණ විට උන්වහන්සේට දකින්න ලැබෙන්නේ ජාති ජරා දුකෙන් පෙළී ශෝකයෙන් වෙලුණු සත්ව ප්‍රජාවයි.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M