ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

1.2.7. දුතිය සේඛ සුත්තං

1.2.7. උතුම් අරහත්වය පිණිස පුහුණුවට වුවමනා දේ ගැන වදාළ දෙවෙනි දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, තවමත් උතුම් අරහත්වයට පත්වෙච්ච නැති, ඒ අනුත්තර වූ අමා මහ නිවන අපේක්ෂාවෙන් සිටිමින් නිවන් මගේ හික්මෙන සේඛ භික්ෂුවක් ඉන්නවා. පින්වත් මහණෙනි, (ඔහුගේ ඒ නිවන් මග සම්පූර්ණ කරගැනීමට වුවමනා කරන) බාහිරව තිබෙන ගුණයක් වශයෙන් මේ කල්‍යාණ මිත්‍ර ඇසුර තරම් බොහෝ සේ උපකාර වන වෙනත් එකම එක දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුව අකුසල් නැති කරලා දානවා. කුසල් දහම් වැඩි දියුණු කරනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“යම් භික්ෂුවක් කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරේම සිටිනවා නම්, කලණ මිතුරන් කෙරෙහි යටහත් පැවැතුම් ඇති සිහි නුවණ පිහිටා ඇති ඔහු කලණ මිතුරන්ගේ වචනයට අනුවයි ඉන්නේ. නුවණින්මයි ඉන්නේ. සිහිය පිහිටුවා ගෙනයි ඉන්නේ. අන්න ඒ කෙනා ක්‍රමක්‍රමයෙන් සියලුම බන්ධන ගෙවා දමමින් ඒ අමා නිවනට පත් වෙනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M